Friday, August 24, 2018

ගල්කිස්ස මහා හෝටලය හා බැඳි ජනප්‍රවාද


       
 ශ්‍රී ලංකාවේ සුන්දර වූ වෙරළ තීරයක් වන ගල්කිස්ස වෙරළ තීරය කාගේත් සිත් ඇද බැද තබා ගත් ස්ථානයකි.සවස් යාමය වන විට වෙරළට යන එන ඕනෑම කෙනෙකු හට ඈතින් දිස්වන ගල්කිස්ස මහා හෝටලය දෙවතාවක් හැරී බැලීමට සමත් කරවයි. සංචාරක ව්‍යාපාරයට තෝතැන්නක් වන, නූතනයේ ඉතාමත් අනර්ඝ මට්ටමේ පහසුකම් වලින් සැදුම් ලත් මෙම හෝටලය එදා ආණ්ඩුකාර මාළිගයකි.
                            ගල්කිස්ස මහා හෝටලය හා බැඳී ජනප්‍රවාදයක් ලෙස තෝමස් මේට්ලන්ඩ් සහ ලොවීනා අපෝන්සුවා පෙම් පුවත ඉතාමත් ප්‍රසිද්ධ වූ කතා පුවතකි. ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි අධිරාජ්‍ය පැවති කාල වකවානුවේ එවකට ශ්‍රී ලංකාව හැඳින්වූයේ “Ceylone” යනුවෙනි. 1805-1811 යන කාලයේ මෙරට දෙවන ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කරන ලද්දේ සර් තෝමස් මේට්ලන්ඩ් නැතහොත් ටොම් රජු ය. ඔහු ගල්කිස්සෙන් ලත් ඉඩමේ සිය පෞද්ගලික වාසස්ථානය ගොඩනැගුමට ඉටා ගත්තේය. ලොවීනා ගේ නිවස ඊට යාබදව පිහිටා තිබීම ඊට එක් හේතුවක් වේ. නමුදු  තවත් සමහරෙකු පවසා ඇති අන්දමට ලොවීනා ගේ නිවසද මෙට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා විසින් සාදා දී ඇති බව ජනප්‍රවාදයයි. පුරා කතාවට අනුව මෙම කාල වකවානුවේ ආණ්ඩුකාර මාළිගයෙහි නර්තනයේ යෙදුනු පෘතුගීසි හා සිංහල සම්භවයක් ඇති ලොවීනා අපෝන්සුවා නමැති නාටිකාංගනාව සමග ඔහු පෙමින් වෙලිනි. ඇය ග්‍රීක දෙවඟනකට සමාන බව කියැවේ. නමුත් ටොම් රජු දිවයිනට පැමිණි අවස්ථාවේදී ලොවීනා, පිළිගැනීමේ නර්තනයේ යෙදුන බවත් එහිදී ඔහුට ලොවීනා කෙරෙහි ප්‍රේමයක් හටගත් බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. මොවුන් දෙදෙනා විවාහ වී සිටි බවට එක් මතවාදයක් පවතින අතර මෙම සම්බන්ධය නිසාවෙන් උඩුකය නිරුවත් තම කුලේ කාන්තාවන්ට විලි වසා ගැනීමට අවශ්‍ය වූ නීතිමය අවකාශය ආණ්ඩුකාරවරයා විසින් සකසා දුන් බවද ජනප්‍රවාදයේ කියැවේ. මීට අමතරව මෙතෙක් වාසය කල තනි පලයේ නිවෙස් වෙනුවට අනෙක් සාමාන්‍ය මිනිසුන් මෙන් පල දෙකේ වහල ද  වරිච්චි බිත්ති සහිත කොළ අතු වෙනුවට පිරුදු මානා සෙවිලි කල නිවෙස් සෑදීමට ද  යාචක රැකියා වෙනුවට තමන් කැමැති කර්මාන්තයන්හි යෙදීමට ද අවශ්‍ය  අවසර සහිත නියෝගයක් ආණ්ඩුකාරවරයා විසින් නිකුත් කල බව ජනප්‍රවාදයේ සඳහන් වේ. පහත් කුලයක් වන රොඩී කුලයට අයත් ලොවීනා හමුවීම සදහා සිය නිවහන ගොඩනැගෙන අතරවාරයේ එහි සිට එය අසබඩ පිහිටි ලොවීනා ගේ නිවසට රහසිගත උමගක් ඉදිකිරීමට ඔහු වග බලා ගත්තේය. මෙසේ උමං මාර්ග 17ක් මාළිගයේ සිට ලොවීනා ගේ නිවස වෙත ඔහු භාවිතා කර ඇත.



            තෝමස් මේට්ලන්ඩ් හා ලොවීනා අපෝන්සුවා
                           
                        ආණ්ඩුකාරවරයාගේ වයින් ගබඩාවෙන් පටන්ගෙන ඇයගේ නිවහනින් කෙලවර වෙන මෙම ප්‍රධාන උමග ඔවුනට රහසිගතව හමුවීමට ඉඩ පෑදුවේය. එනමුදු විවිධ කටකතාවන් මගින් මෙය පිලිබඳ දැනගත් බ්‍රිතාන්‍ය කිරීටය තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා හට 1811දී ලංකාව හැරදමා මොල්ටාවට දඬුවම් මාරුවක් ලබා දෙන අතර එහිදී ඔහු තනිකඩයෙකු ලෙසම මියැදී ඇත.

                       සිය පෙම්වතා හිමි කර ගැනීමට නොහැකි වූ ලොවීනා, මාළිගාව දෙස බලා සුසුම්ලමින් ගල් කුලකින් පැන දිවිනසා ගත් බවට ජනප්‍රවාදයේ සඳහන් වේ. එසේම තම නිවහනේ සදළුතලයෙන් පැන දිවි නසාගත් බවටද මතයක් පවතියි. ඇයගේ මෘත ශරීරය නූතන හෝටලය අසළ ඇති පල්ලියේ තිබෙන බවටද ජනප්‍රවාද පවතියි. පසු කලෙක මෙම ගල්කිස්ස නමැති නගරය Mount Lavinia යනුවෙන් ඇයව සිහිවීම පිණිස නම් කරන ලදී. බොහෝ අවස්ථාවන්හි දී ලොවීනා ගේ නිවස අසල ඇති පර්වතයක් මත සුදු පැහැයෙන් සැරසී කාන්තාවක් සිටීම හා ඇය ලොවීනා හා සමාන හෙයින් එම නගරය Mount Lavinia ලෙස නම් කල බව සඳහන් වේ.මොවුන් දෙදෙනාගේ ප්‍රේම වෘතාන්තයට එකඟ නොවූ බ්‍රිතාන්‍ය කිරීටය කිසිදු අයුරකින් සාධකයන් ඉතිරි නොකිරීමට වග බලා ගත්හ.එහි ප්‍රථිපලයක් ලෙස ඒ හා සම්බන්ධ සියලු තොරතුරු හා ලේඛනයන් විනාශ කරන ලදී. අද වන විට ද හෝටලයේ ඒ හා සම්බන්ධ කිසිදු ලේඛනයක් හමුවී නොමැති අතර රහස් උමං මාර්ගය හා ආණ්ඩුකාරවරයා භාවිතා කල කාමරය පමණක් ඉතිරි වී ඇති සාධක ලෙස දක්වා ඇත.                                                                                                                                                                                                                                                                                                          
                  මෙහි දැක්වෙනුයේ ප්‍රධාන උමං මාර්ග අභ්‍යන්තරයයි. 1877දී උමං මාර්ග හරස්කොට දුම්රිය මාර්ග ඉදි කෙරුණි. 1920දී පමණ උමග වසා දැමුණු අතර මන්දිරය වටා වූ අහිගුණ්ඨික රොඩී ගම්මානය නවීන නගරයක් බවට සංවර්ධනය විය. ආණ්ඩුකාර මේට්ලන්ඩ් ගෙන් පසු බලයට පැමිණි එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාගේ සමයේ එනම් 1820දී එම ආණ්ඩුකාර මාළිගය කාමර සහිත දෙමහල් ගොඩනැගිල්ලක් ලෙස නිර්මාණය කරන ලදී. එහිදී ගොඩනැගිල්ල පවත්වා ගෙන යාම සඳහා විශාල මුදලක් වැය වූ අතර එනිසාවෙන් 1927දී එය ආතර් එෆ්රෞම්ස් (Arthur Ephraums) වෙත අලෙවි කරන ලදී. දෙවන ලෝක සංග්‍රාමය කාලයේදී හෝටලය බ්‍රිතාන්‍ය හමුදාව විසින් හමුදා රෝහලක් ලෙස භාවිතයට ගත් බවත් යුද්ධයෙන් අනතුරුව 1947දී ගල්කිස්ස මහා හෝටලය ලෙස ප්‍රතිස්ථාපනය කල බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. යුද්ධය අතරතුර රෝහල් ශාලා තුල ඇඳන් පිරවීම හා තුවාල වූ සොල්දාදුවන් රෝහලට ප්‍රවාහනය සිදු කර ඇත. මෙම මාළිගාව හෝටලයක් ලෙස ප්‍රතිස්ථාපනය කිරීමට ප්‍රථම රොබට් බ්‍රව්න්රිග් සහ එඩ්වඩ් බාන්ස් යන ආණ්ඩුකාරවරුන් මෙහි පාලනය කර ඇත. එකල හෝටලයේ රැඳී සිටි අමුත්තන් ලෙස බෙල්ජියමේ ලියෝපෝල්ඩ් රජු (Leopold King Of Belgium), ලේඛක සොම්ර්ස්ට් මවුම් ( Writer Somerest Maum), නළු විවියන් ලීහ් (Actor Vivien Leigh), ක්ර්ක් ඩග්ලස් සහ ග්‍රෙගරි පෙක් (Kirk Dougles & Gregory Peck) යන පුද්ගලයන් සඳහන් වේ. එමෙන්ම The Bridge Of The River Kwai නමැති චිත්‍රපටයේ යම් යම් දර්ශන ද මෙම හෝටලයේ රූගත කර ඇත.
                                           
                   ලොවීනා ගේ නිවසෙහි සදළුතලයට ආණ්ඩුකාර මාළිගය මැනවින් දිස්වන අතර එම නිවසේ අද වන විට ගල්කිස්ස බෞද්ධ බාලිකා නමින් පාසලක් පවත්වාගෙන යනු ලබයි. එහි ගෘහ නිර්මාණ ශිල්පය අතීතයේ පැවති ආණ්ඩුකාර මාලිගයේ ගෘහ නිර්මාණ ශිල්ප හා බෙහෙවින් සමානකමක් දක්වන බව ජන මතයයි.
මහෝගනී දැව යොදා ගනිමින් මදින ලද පොළොවකින් යුත් අලංකාරවත් ලෙස සැලසුම් කර ඇති මෙම ආණ්ඩුකාර මාලිගාව පෞරාණික ප්‍රෞඩත්වය මැනවින් විදහාපානු ලබයි. මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ රාජකාරි කාමරය ,හෝටලයේ ඉහළ මාලයේ තිබෙන අතර එය ඔහුගේ  මහා මන්දිරයේ ප්‍රධාන කොටසක් ලෙස ද ජනප්‍රවාදයේ සඳහන් වේ. ඔහුගේ බොහෝ රැස්වීම් එහි පවත්වා තිබෙන බවටද මතයන් පවතියි. දැනට හෝටලයේ පිවිසුම් දොරටුව අභියස ඇති ජල උල්පත මැද ඇති කාන්තා/ගැහැණු ළමයෙකුගේ පිළිරුව ලොවීනා ගේ යැයි ජනප්‍රවාදයේ කියවේ.එය ජනප්‍රවාදයක් පමණක් බවත් එම පිළිරුව හෝටලයේ අලංකාරය සඳහා නිර්මාණය කල  බවත් හෝටලය මගින් පවසා තිබේ. ඊට අමතරව එකල තිබූ පාලනය නූතන හෝටලයේ සිටින සේවකයන් පළඳිනු ලබන රාජකීය ගණයේ ඇඳුම් පැළඳුම් වලට හේතුවක් ලෙස ජනප්‍රවාදයේ සඳහන් වන අතර අතීතයේ සිටි පොලිස් නිලධාරින් හා දොරටු පාලකයන් එම ඇඳුම් පැළඳුම් හා සමාන ලෙස පැළඳීම් භාවිතා කොට ඇත. 
                            එසේම හෝටලයේ ප්‍රධාන ආහාර වට්ටෝරු අතර අතීතයේ ආණ්ඩුකාරවරුන් විසින් ආහාරයට ගත් වට්ටෝරු කිහිපයක් ද අද වනවිටත් හෝටලයේ Governor’s Restaurant හි පිළියෙළ කරනු ලබයි. ඒවා අතර “ලැවීනියා”, “කොලෝනියල්” හා “ගවර්නර්ස්” කෑම වට්ටෝරු වේ. මිලෙන් අධික වුවද එම ආහාර හෝටලය තුල ඉතාමත් ජනප්‍රිය ආහාර ලෙස සැලකේ.හෝටලයේ නූතන නිල ලාංඡනයේ ඇති සිංහයන් දෙදෙනෙකු දෙපසින් අල්ලාගත් පළිහ හා ඒ මත පිහිටි ඔටුන්න මගින් අතීතයේ පැවති ඉංග්‍රීසි පාලනය හා ලංකාව ඉංග්‍රීසි යටත්විජිතයක්ව පැවතීම පිලිබඳව ද මනාව පිළිඹිබු වේ. සරලව කිවහොත් බලය හා අධිකාරය පිළිබඳව එම ලාංඡනය මගින් විදහාපානු ලබයි. මේ අනුව ආණ්ඩුකාර තෝමස් මේට්ලන්ඩ් විසින් තම නිවස ලෙස අඩිතාලම දැමූ එම මාළිගය අද වන විට තරු පන්තියේ හෝටලයක් බවට පත් වී ඇත. මෑතකදී හෝටලයට වසර 210 සපිරීම නිමිත්තෙන් එළිදැක්වූ සුවඳ විලවුන් මගින් සිය විශ්වාසනීය උරුමයක් වන “තහනම් ආදර කතාව” පිළිබඳ නැවත වරක් අප මතකයට නංවනු ලබයි.

               වසර 200කට එහා අතීතයක් ඇති මෙම හෝටලය ශ්‍රී ලංකාවේ පැරණිතම හෝටල් ගෙන් එකකි. හෝටලයට  වෙරළ තීරය මගින් තවත් සුන්දරත්වයක් එක් කරනු ලබන අතර බොහෝ මංගල උත්සව සඳහා නූතනයේ මෙම හෝටලය භාවිතා කරනු ලබයි. කෙතරම් කාලය ගලා ගියද  ස්ත්‍රියක, සම්භාවනීය ආණ්ඩුකාර හදවත අල්ලා ගත් ආකාරය, රහස් උමගේ ආදරණිය හමුවීම්, මෙස්මිසෝ නර්තන මතකයන් මෙන්ම එම ආත්මයන් ගල්කිස්ස මහා හෝටලය හා අවට ප්‍රදේශ පුරා අදටත් ජීවමාන සාධකයන් ලෙස පවතිනු නොඅනුමානයි.



නාඩගම් සංගීතයෙහි නිරූපිත අන්තර් සංස්කෘතික ලක්ෂණ

                       ඕනෑම රටක සංස්කෘතිය යනු ආගම, දේශපාලන, ආර්ථික, සමාජීය හා කලාව එකතු වී සැදුම් ලද්දකි. සංස්කෘතිය සකස් වීමට මිනිසාගේ ගතිපැවතුම්, සමාජීය රටා මෙන්ම ඔවුනොවුන් ශිෂ්ඨාචාරයක් වශයෙන් එදා සිට අද දක්වා රැගෙන ආ විවිධ ජිවන රටාද  තුඩුදුන් හේතු වේ. ඒ අනුව මිනිසාගේ ඕනෑ එපාකම් මත ඔවුන්ට රසවිඳීම , පිනවීම, සතුටු වීම යන කරුණු මුල් කරගනිමින් ඔවුන් කලාව වෙත නැඹුරු වූ බව මුලාශ්‍රයන්ගෙන් පැහැදිලි වේ. සංගීතය යනු එම කලාවේ ප්‍රධාන අංගයකි. ආදී වැසියා ශිෂ්ඨාචාර යුගයේ දී ක්‍රමයෙන් ශිෂ්ඨාචාරගත වන විට තාලයට අනුගත වෙමින් ඔවුන්ගේම සංගීතයක් නිර්මාණය කර ගත්හ. මෙය මුලිකවම සංගීත කලාව නිර්මාණයට අඩිතාලම වන්නට විය. මේ අනුව සංගීතය විවිධ සංස්කෘතීන් අනුව වෙනස් වෙමින් විවිධ තාල රූප එක් වෙමින් අපුර්වත්වයකින් යුතුව අද වන විට භාවිත වේ.
                       සංගීතය කියූ සැණින් අපගේ මතකයට නැගෙන පුද්ගලයෙකු වන්නේ ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල් ය. මොහු විසින් නාට්‍යයකට අවශ්‍ය අංග හයක් (6) දක්වා තිබේ. එනම්,
කථා වින්‍යාසය 
චින්තනය
වාග් විලාසය 
සංගීතය 
ප්‍රේක්ෂාව  ආදිය ලෙසය.


මේ අනුව ග්‍රීක නාට්‍ය කලාව තුළ සංගීතයට වැදගත්කමක් දී ඇති බව පැහැදිලි වේ. එසේම සංගීතය, ග්‍රීක නාට්‍යවල පමණක් නොව චීන, ජපන්, සංස්කෘත හා මධ්‍යකාලීන යුරෝපියානු නාට්‍ය වලද අනිවාර්යය අංගයක්ව පැවතිණ. ශ්‍රී ලංකාවේද ශාන්තිකර්මයන්හි ඇති නාට්‍යම ජවනිකා, සොකරි, කෝලම්, නාඩගම් හා නුර්ති දක්වාද සංගීතය අඩු වැඩි වශයෙන් යොදාගැනීම දැකගත හැකිය.

                       නාඩගම් පිළිබඳව සඳහන් කිරීමේදී වැදගත් වන්නේ  එහි ප්‍රධාන අංගය සංගීතය වීමයි. නාඩගම මුළුමනින්ම සංගීතයෙන් යුක්ත වේ. එබැවින් දෙබස් වශයෙන් ගැයෙන ගද්‍ය කොටස් පවා ගායනයෙන් හසුරවනු ලැබේ. ආඝාතාත්මක, අනාඝතාත්මක කවි භාවිත වේ. එහිදී සින්දු නාඩගම හා කවි නාඩගම වශයෙන් කොටස් දෙකකට බෙදිය හැක. 

සින්දු නාඩගම් - මනමේ, සිංහබාහු 
කවි නාඩගම් - දිරියෙන් යුධ කළ, දියණිය ඇදුරින්ඳු,
                අසන්ම පිය හිමි

                       නාඩගම පිලිබඳ විවිධ මතවාද දක්නට ලැබේ. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ට අනුව නාඩගම පැවත එනුයේ දක්ෂිණ භාරතයේ “භගවතමේල තෙරුක්කුත්තු” නම් වීදි නාට්‍ය සම්ප්‍රධායෙන් යන්නයි. නමුත් එය මහාචාර්ය එම්.එච් ගුණතිලක මහතා විසින් ප්‍රතික්ෂේප කරන අතර එතුමා පවසන පරිදි නාඩගම් ප්‍රභවය “පෘතුගීසි ජන වන්දනා” නාට්‍ය තුලින් සිදු වූ බවයි. මීට අමතරව තවත් එක් මතයක් වන්නේ පීකිං ඔපෙරාව ද අපගේ නාඩගමට ඉතාම සමීප යැයි කියන මතයයි. නමුත් එහිදී කිසිදු ආකාරයකින් නාඩගම් සම්ප්‍රධාය , ඔපෙරාව අනුකරණය නොකර ඇති බවත් ඔපෙරාවේ ආකෘතික ස්වරුපය, ඡායාව පමණක් අප විසින් උකහා ගෙන ඇති බවත් විද්වත් අදහසයි. 

                   නාඩගම මුලිකව පල්ලිය හරහා විකාශය විය. පල්ලිය මගින් නාඩගම් තුලින් ආගමික කතා ප්‍රචාරය සිදු කොට ඇත. ඒ හේතුවෙන් බොහෝමයක් නාඩගම්හි ප්‍රධාන කතා පුවත රෝමානු කතෝලිකයින්ගේ කතා පුවත් විය. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ කාලයේදී දක්ෂිණ භාරතයෙන් පැමිණි අලගු නායිදු නම් දමිළ සංගීතඥයා විසින් නාඩගම් සංගීතය මෙරටට ගෙනවිත් ඇත. මේ අනුව මුළුමහත් නාඩගම් කලාවේ සංගීත අංශයට රෝමානු කතෝලික ගායන ක්‍රමයේ බලපෑම ලැබී ඇත. 

                      නාඩගම්හි සංගීත භාණ්ඩ පිලිබඳ විමසීමේදී ප්‍රධාන වාද්‍ය භාණ්ඩය ලෙස මද්දල් යුගලයක් භාවිත කරයි. මෙය මද්දලය, මෘදංගය, දමිළ බෙරය, මත්තාල් ලෙස හදුන්වනු ලබයි. මද්දලය මගින් දමිළ අවනද්ධාක්ෂර නිපදවයි. එසේම සර්පිනාව හෙවත් හාර්මෝනියම් අතිතයේ යුරෝපියානු ක්‍රිස්තියානි දේවස්ථානවල තේවාව සඳහා යොදාගෙන ඇත. මීට අමතර වශයෙන්  බටනලාව, තාලම්පට සංකලනයෙන් නාඩගම් සංගීතය නිර්මාණය කොට ඇත. නාඩගම් සංගීතය සරල ආකාර 24කි. පසන්, තිර්ලානා, වඩිමුඩි, චාපු, කඩිනම් පසන් , පසන් අනු තාලය ආදී වශයෙන් පවතී. පසන් යනු කතෝලික බැතිමතුන්ගේ ගායනා ක්‍රමයකි. එහෙත් නාඩගම්හී පසන් යනු මාත්‍රා 8/16න් යුත් මද්දල් පදයකි. නාඩගම්හි එන සිංදු රාග , ද්‍රවිඩ ගායනා හා ද්‍රවිඩ රාගධාරී බවක් ගෙන ඇත.නාඩගම් සඳහා භාවිත කරනු ලබන කර්ණාටක සංගීතය පසුව දමිළ රාගතාල වලින් නිදහස්ව රචනා කොට තිබුනද මුළුමනින්ම ද්‍රවිඩ සංගීතය ඉවත් වී නොමැත. 
                      නාඩගම් භාෂාව ශබ්ද රසයට මුල් තැනක් ලබාදී තිබේ. සාහිත්‍යයක වචන වෙනස් කරමින් අර්ථ ශුන්‍ය වචන භාවිත කරනු ලබයි. එසේ සිදු කර ඇත්තේ ශබ්ද රසයට මුල් තැනක් දී ඇති නිසාවෙනි. 
ʺනිල් සිකි පිලසේ දිගු වරලා - හෙලා පුලාවි අදරිʺ
(පිලිප්පු සිඤ්ඤෝ ගේ ස්ථාක්ති නාඩගම)
පිලිප්පු යනු නාඩගම්හි ආදිතම කතෘවරයායි. මොහුගේ බස සංස්කෘත හා දෙමල මිශ්‍රිත භාෂාවක් විය. 
                       එසේම නාඩගම් වල  පොතේ ගුරා විසින් කියනු ලබන පුර්ණ විරිඳුව සංස්කෘත නාට්‍ය වල නාන්දියට සමානකමක් දක්වයි. නාඩගම් සංගීතය මුල්කාලීනව ද්‍රවිඩ වුවද ගැමි ගැමි ගායකයන් ගායනා කල සිංහල වචන වල උච්ඡාරණය අනුව ඊට දේශීය ශෛලියක් ආරුඪ වී තිබෙන නිසාත් එය සිංහල සංගීතයක් බවට පත් විය. නාඩගම් වලට අයත් පදය වෘත්තයන් ස්වර දීර්ඝ කොට ඇද පැද ගායන ක්‍රමය වූ කලි සිංහල ගැමි ගී හා සමාන ක්‍රමයකට නෑකම් කියන බව නොකිවමනාය. මෙම හේතූන් නිසා නාඩගම් සංගීතය මේ රටේ සංස්කෘතික වාතාවරණයට ගැලපෙන පරිදි සකස් කරගැනීමට සිංහලයන් සමත් විය.
මේ අනුව නාඩගම් සංගීතය තුළ දක්නට ලැබෙන අන්තර් සංස්කෘතික ලක්ෂණ පෙන්වා දිය හැක.