ශ්‍රී ලංකාවේ ගැමි ජන මානවයා අතර පවතින සුවිශේෂ ප්‍රජාකරණ විශේෂයක් ලෙස ශාන්තිකර්ම නම් කල හැක. ප්‍රාථමික ගැමි ජන සමාජයේ ව්‍යාප්තව පවතින මෙම ශාන්තිකර්ම සඳහා මිනිසුන් එක්රොක් වූයේ තම ජිවිතයට එල්ලවන අයහපත් තත්ත්වය පහකොට යහපතක් ලබාගැනීම උදෙසාය. "ශාන්තියක්" යනු සෙතක්, යහපතක්, ආශීර්වාදයක් උදෙසා කරනු ලබන ක්‍රියාවකි. දෙවියන්, යකුන්, නව ග්‍රහයින්, අදෘශ්‍යමාන බලවේගයන්ගෙන් වැදී පැමිණෙන්නා වූ අපල උපද්‍රව පහ කරගැනීමට, අකල් මරණ,ආරවුල් අවම කරගැනීමට, ලෙඩරෝග සුවකර ගැනීමට යන කාරණාවන් උදෙසා ප්‍රාථමික අවධියේ ශාන්තිකර්ම පවත්වා ඇත. මේ අනුව දෙවියන්, යකුන්, නව ග්‍රහයින් මුල්කර ගනිමින් ශාන්තිකර්ම පවත්වනු ලබයි. ශාන්තිකර්මවල සිදුවනුයේ මානසික පීඩනයෙන් මුදවාගෙන ඔහු ප්‍රකෘති තත්ත්වයට පත්කිරීමයි. එහිදී ඖෂධිය ප්‍රතිකාරවලට වඩා රෝගියාගේ සිත් සතුටු කරවන සෞන්දර්යාත්මක රසවින්දනයක් ලබාදීම පුදපුජාවන් හා නර්තන ගායන අංග මගින් සිදු කරනු ලබයි.
කොහොඹා කංකාරිය, පහන් මඩුව, දෙවොල් මඩුව, බලි යාගය ආදී ශාන්තිකර්ම ගණනාවක් මගින් මානසික රෝග සුවකිරීම හා යහපත ලබා ගැනීම සිදු කරනු ලබයි. රෝග සුවකිරීමට යක්තොවිල් බොහෝවිට පැවැත්වුවද සෑම ශාන්තිකර්මයක් හරහාම කිසියම් වූ යහපතක් උදා කරදීම මුලික අරමුණ වේ. එහිදී,
- යටිසිත විමසා බැලීම
- රෝගියා තුළ ධනාත්මක සිතුවිලි තහවුරු කිරීම
- අනුකරණාත්මක හා ප්‍රදර්ශන ඇසුරින් කරන මනෝ චිකිත්සක ක්‍රම
- කායික,මානසික වත්පිළිවෙත් සඳහා යොමුකරවීම
ආදී කරුණු මගින් රෝග සුවකිරීම සිදු කරයි. එසේම එම ක්‍රමවල විශේෂවූ සන්නිවේදනාර්ථයන් ගැබ්ව තිබේ. නිදසුනක් ලෙස පහතරට දහඅට සන්නිය ශාන්තිකර්මය භූත, අමුක්කු, බීරි, වාත, ජල, ගුල්ම ආදී සන්නි දහ අටකින් යුක්ත වන අතර යකැදුරා, ආතුරයා ඉදිරියට පැමිණ ඇතිවී තිබෙන රෝගයත්, එම රෝගය සිරුරෙන් බැහැර කිරීමට නම් එම යකුන්ට පිදේනි අවශ්‍ය බවත්, පිදේනි පුජා කිරීමෙන් පසු යක්ෂයා පිටවීමත් රඟදක්වා පෙන්වයි.මෙලෙස අවසානයේ ආතුර සිරුරෙන් යක්ෂයා පිටවීම තුලින් ආතුරයාගේ සියලු රෝගාබාධ සුවවන බවත් විශ්වාස කරයි. එසේම රිද්දි යාගය ශාන්තිකර්මය පවත්වනු ලබන්නේ දරුවන් නොමැතිකමින් දුකට පත් කාන්තාවන්ට සහ දරුගැබ සහිත කාන්තාවන්ට ආරක්ෂාව පිණිසය. මාතෘත්වයට සැරසෙන ආකාරය සහ එතැන්පටන් තමන්ට මවක් වීමේ හැකියාව ඇති බව එම චාරිත්‍ර වාරිත්‍ර මගින් සන්නිවේදනය කරනු ලබයි.
නිදසුන්:
නානුමුර මංගල්‍යය- දීපංකර බුදුන්ට නොඉදුල් සළුව වියිම සඳහා පවිත්‍ර වියයුතු බව දක්වයි. ඉන් දරුවන් ලැබීමට නම් පවිත්රත්වය සපුරාගත යුතු බව සංකේතවත් කරයි.
කපුයක්කාරිය- සළුව වියිමට අවශ්‍ය කප සිටුවීම, පොළව හෑම, කපු බිජ ඉසීම ආදිය සිදු කරයි. මෙමගින් දරුවෙකු ලැබීම සඳහා ලිංගික කාර්යයේ යෙදිය යුතු බව සංකේතවත් වේ.
ශාන්තිකර්මයන්හි බුදුගුණ ගායනාවලට අමතරව ත්‍රිවිධ රත්නයේ ගුණ ද නිරන්තර ගායනා කරනු ලබයි. එමගින් යකුන් පවා බුදුන්ගේ අණට කීකරු වන බව විශ්වාස කෙරේ. විශාලා මහනුවර තුන්බිය දුරුකිරීම සඳහා මෙය කදිම නිදසුනකි.
අහසට බුදුරැස් කදක් මවා ලා
පොළොවට බුදුරැස් කඳක් මවා ලා
යකුගිය ඇත මං බිඳවා ලා
මුනිරජු වැඩියයි පිරිත් දෙසා ලා
මෙවැනි කවි ගායනා කිරීම මගින් බුදුන්ගේ ආරක්ෂාවද රෝගියාට තිබෙන බව සන්නිවේදනය වේ. මීට අමතරව ශාන්තිකර්ම අතරතුර සිදුවන බෙර වාදනයන් මගින්ද අධික කම්පන ශක්තියක් ජනිත කරවයි. මගුල් බෙර, අත්‍යා බෙර වාදනයන් මීට නිදසුන්ය. මන්ත්‍ර ජපකිරිම, යාදිනි, සන්න, සැහැලි, අෂ්ඨක ආදී සෑම ගායනාවක් සඳහාම වෙන්වූ නාද රටාවක් පැවතිණ. මෙමගින් කිසියම්වූ සංගීත චිකිත්සාවක් ලබාදීම සිදු කරයි. නිදසුනක් ලෙස නානුමුරය හා කපුයක්කාරිය යන රංග අවස්ථාවන්හි යොදාගනු ලබන බෙර පද හා ගායනා මගින් සන්නිවේදනය වනු ලබන්නේ වඳ ස්ත්‍රීන් කපුපිළි වියා දීපංකර බුදුන්ට සළුව පුජාකළ පිනෙන් දරු සම්පත් ලැබූ බවයි. මේ නිසා සංගීත චිකිත්සාව ශාන්තිකර්මයන්හි රෝග නිවාරණය සඳහා බෙහෙවින් ඉවහල් වනු ඇත.
බලි යාගය නවග්‍රහ අපල දුරු කිරීමට පවත්වනු ලබන ශාන්තිකර්මයකි. මෙහිදී අදාළ රෝගියාගේ රෝගයට සරිලන බලියක් ඇඹීම සිදු කරයි. මැටි බලි, මල් බලි, වතුර බලි ආදී විවිධ බලි වර්ග ඇති අතර අදාළ බලිය ග්‍රහයින් හා දෙවියන්ට පුජකිරීමෙන් එම අපලය/රෝගය පහව යනබව විශ්වාස කෙරේ. යකැදුරාගේ අතෙහි ඇති අත්මිණිය සෙලවීම මගින් ග්‍රහදොස් පහකර ආශීර්වාද ලැබෙන බව සන්නිවේදනය වේ. එමෙන්ම ශාන්තිකර්මවල ඇති ස්වභාවික ඖෂධ හාවිතය පිළිබඳව ද විමසීම වැදගත්ය. ඖෂධීය කොළ, මුල්, පොතු, මල් මෙන්ම කෙසෙල් වලු, තැඹිලි, පොල් ආදිය යාග මඩලේ එල්ලීම මගින් මානසික සුවතාව හා ලෙඩරෝග සුවකිරීම සඳහා ශාන්තිකර්මය ඖෂධයක් වන බව සන්නිවේදනය කරයි. ඊට අමතරව සශ්රිකත්වයද සංකේතවත් කරනු ලබයි. පහත කවියෙන් ඒ පිළිබඳව මනාව පැහැදිලි වේ.
තැඹිලි නවසි බෝදිලි තල් පොල් ව ලූ
කදිලි වලුත් සුවදැල් රඹ කැන් ව ලූ
තැඹිලි වලුත් ගෙන මාරුක් මල් ව ලූ
එකලී ලෙසට දෙන ලෙස සැරසූව ලූ
තවද පුනා මඩුව ශාන්තිකර්මය අවසානයේදී පුනාව රැගෙන ගොස් දියේ සිටින ගොනෙකුගේ හිසෙහි ගසා විනාශ කර දැමීම මගින්ද සියලු දෝශ දුරුවූ බව සියලු දෙනා හට සන්නිවේදනය කරනු ලබයි. උඩරට ශාන්තිකර්මයක් වන කඩවර කංකාරියේ සමාගම් නූල පැළඳවීම චාරිත්‍රය මගින් දරුපල ලබාදීම සිදුකරයි. කඩවර යක්ෂයා විසින් සිදු කරන බීය වැද්දීම් හා ගබ්සා කිරීම් ආදිය පහව යාම සඳහා මෙම නූල පළඳවනු ලබයි. මෙලෙස විවිධ චාරිත්‍ර හරහා ශාන්තිකර්ම ඔස්සේ පුද්ගල අපල උපද්‍රව දුරුකිරීමට හැකියාව ලැබී ඇති බව මනාව පැහැදිලි වනු ඇත. මෙවැනි විවිධ සාම්ප්‍රධායික චාරිත්‍ර ක්රමයන් ඔස්සේ අතීත ජනයා ශාන්තිකර්ම පවත්වා ඇති අතර එම මනෝචිකිත්සක ක්‍රමවේදයන් හා බැඳී සන්නිවේදනාර්ථ මෙසේ පෙන්වා දිය හැක.
(ග්රන්ථ පරිශීලනය ඇසුරිනි)
Niyamai
ReplyDelete