Friday, August 24, 2018

නාඩගම් සංගීතයෙහි නිරූපිත අන්තර් සංස්කෘතික ලක්ෂණ

                       ඕනෑම රටක සංස්කෘතිය යනු ආගම, දේශපාලන, ආර්ථික, සමාජීය හා කලාව එකතු වී සැදුම් ලද්දකි. සංස්කෘතිය සකස් වීමට මිනිසාගේ ගතිපැවතුම්, සමාජීය රටා මෙන්ම ඔවුනොවුන් ශිෂ්ඨාචාරයක් වශයෙන් එදා සිට අද දක්වා රැගෙන ආ විවිධ ජිවන රටාද  තුඩුදුන් හේතු වේ. ඒ අනුව මිනිසාගේ ඕනෑ එපාකම් මත ඔවුන්ට රසවිඳීම , පිනවීම, සතුටු වීම යන කරුණු මුල් කරගනිමින් ඔවුන් කලාව වෙත නැඹුරු වූ බව මුලාශ්‍රයන්ගෙන් පැහැදිලි වේ. සංගීතය යනු එම කලාවේ ප්‍රධාන අංගයකි. ආදී වැසියා ශිෂ්ඨාචාර යුගයේ දී ක්‍රමයෙන් ශිෂ්ඨාචාරගත වන විට තාලයට අනුගත වෙමින් ඔවුන්ගේම සංගීතයක් නිර්මාණය කර ගත්හ. මෙය මුලිකවම සංගීත කලාව නිර්මාණයට අඩිතාලම වන්නට විය. මේ අනුව සංගීතය විවිධ සංස්කෘතීන් අනුව වෙනස් වෙමින් විවිධ තාල රූප එක් වෙමින් අපුර්වත්වයකින් යුතුව අද වන විට භාවිත වේ.
                       සංගීතය කියූ සැණින් අපගේ මතකයට නැගෙන පුද්ගලයෙකු වන්නේ ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල් ය. මොහු විසින් නාට්‍යයකට අවශ්‍ය අංග හයක් (6) දක්වා තිබේ. එනම්,
කථා වින්‍යාසය 
චින්තනය
වාග් විලාසය 
සංගීතය 
ප්‍රේක්ෂාව  ආදිය ලෙසය.


මේ අනුව ග්‍රීක නාට්‍ය කලාව තුළ සංගීතයට වැදගත්කමක් දී ඇති බව පැහැදිලි වේ. එසේම සංගීතය, ග්‍රීක නාට්‍යවල පමණක් නොව චීන, ජපන්, සංස්කෘත හා මධ්‍යකාලීන යුරෝපියානු නාට්‍ය වලද අනිවාර්යය අංගයක්ව පැවතිණ. ශ්‍රී ලංකාවේද ශාන්තිකර්මයන්හි ඇති නාට්‍යම ජවනිකා, සොකරි, කෝලම්, නාඩගම් හා නුර්ති දක්වාද සංගීතය අඩු වැඩි වශයෙන් යොදාගැනීම දැකගත හැකිය.

                       නාඩගම් පිළිබඳව සඳහන් කිරීමේදී වැදගත් වන්නේ  එහි ප්‍රධාන අංගය සංගීතය වීමයි. නාඩගම මුළුමනින්ම සංගීතයෙන් යුක්ත වේ. එබැවින් දෙබස් වශයෙන් ගැයෙන ගද්‍ය කොටස් පවා ගායනයෙන් හසුරවනු ලැබේ. ආඝාතාත්මක, අනාඝතාත්මක කවි භාවිත වේ. එහිදී සින්දු නාඩගම හා කවි නාඩගම වශයෙන් කොටස් දෙකකට බෙදිය හැක. 

සින්දු නාඩගම් - මනමේ, සිංහබාහු 
කවි නාඩගම් - දිරියෙන් යුධ කළ, දියණිය ඇදුරින්ඳු,
                අසන්ම පිය හිමි

                       නාඩගම පිලිබඳ විවිධ මතවාද දක්නට ලැබේ. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ට අනුව නාඩගම පැවත එනුයේ දක්ෂිණ භාරතයේ “භගවතමේල තෙරුක්කුත්තු” නම් වීදි නාට්‍ය සම්ප්‍රධායෙන් යන්නයි. නමුත් එය මහාචාර්ය එම්.එච් ගුණතිලක මහතා විසින් ප්‍රතික්ෂේප කරන අතර එතුමා පවසන පරිදි නාඩගම් ප්‍රභවය “පෘතුගීසි ජන වන්දනා” නාට්‍ය තුලින් සිදු වූ බවයි. මීට අමතරව තවත් එක් මතයක් වන්නේ පීකිං ඔපෙරාව ද අපගේ නාඩගමට ඉතාම සමීප යැයි කියන මතයයි. නමුත් එහිදී කිසිදු ආකාරයකින් නාඩගම් සම්ප්‍රධාය , ඔපෙරාව අනුකරණය නොකර ඇති බවත් ඔපෙරාවේ ආකෘතික ස්වරුපය, ඡායාව පමණක් අප විසින් උකහා ගෙන ඇති බවත් විද්වත් අදහසයි. 

                   නාඩගම මුලිකව පල්ලිය හරහා විකාශය විය. පල්ලිය මගින් නාඩගම් තුලින් ආගමික කතා ප්‍රචාරය සිදු කොට ඇත. ඒ හේතුවෙන් බොහෝමයක් නාඩගම්හි ප්‍රධාන කතා පුවත රෝමානු කතෝලිකයින්ගේ කතා පුවත් විය. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ කාලයේදී දක්ෂිණ භාරතයෙන් පැමිණි අලගු නායිදු නම් දමිළ සංගීතඥයා විසින් නාඩගම් සංගීතය මෙරටට ගෙනවිත් ඇත. මේ අනුව මුළුමහත් නාඩගම් කලාවේ සංගීත අංශයට රෝමානු කතෝලික ගායන ක්‍රමයේ බලපෑම ලැබී ඇත. 

                      නාඩගම්හි සංගීත භාණ්ඩ පිලිබඳ විමසීමේදී ප්‍රධාන වාද්‍ය භාණ්ඩය ලෙස මද්දල් යුගලයක් භාවිත කරයි. මෙය මද්දලය, මෘදංගය, දමිළ බෙරය, මත්තාල් ලෙස හදුන්වනු ලබයි. මද්දලය මගින් දමිළ අවනද්ධාක්ෂර නිපදවයි. එසේම සර්පිනාව හෙවත් හාර්මෝනියම් අතිතයේ යුරෝපියානු ක්‍රිස්තියානි දේවස්ථානවල තේවාව සඳහා යොදාගෙන ඇත. මීට අමතර වශයෙන්  බටනලාව, තාලම්පට සංකලනයෙන් නාඩගම් සංගීතය නිර්මාණය කොට ඇත. නාඩගම් සංගීතය සරල ආකාර 24කි. පසන්, තිර්ලානා, වඩිමුඩි, චාපු, කඩිනම් පසන් , පසන් අනු තාලය ආදී වශයෙන් පවතී. පසන් යනු කතෝලික බැතිමතුන්ගේ ගායනා ක්‍රමයකි. එහෙත් නාඩගම්හී පසන් යනු මාත්‍රා 8/16න් යුත් මද්දල් පදයකි. නාඩගම්හි එන සිංදු රාග , ද්‍රවිඩ ගායනා හා ද්‍රවිඩ රාගධාරී බවක් ගෙන ඇත.නාඩගම් සඳහා භාවිත කරනු ලබන කර්ණාටක සංගීතය පසුව දමිළ රාගතාල වලින් නිදහස්ව රචනා කොට තිබුනද මුළුමනින්ම ද්‍රවිඩ සංගීතය ඉවත් වී නොමැත. 
                      නාඩගම් භාෂාව ශබ්ද රසයට මුල් තැනක් ලබාදී තිබේ. සාහිත්‍යයක වචන වෙනස් කරමින් අර්ථ ශුන්‍ය වචන භාවිත කරනු ලබයි. එසේ සිදු කර ඇත්තේ ශබ්ද රසයට මුල් තැනක් දී ඇති නිසාවෙනි. 
ʺනිල් සිකි පිලසේ දිගු වරලා - හෙලා පුලාවි අදරිʺ
(පිලිප්පු සිඤ්ඤෝ ගේ ස්ථාක්ති නාඩගම)
පිලිප්පු යනු නාඩගම්හි ආදිතම කතෘවරයායි. මොහුගේ බස සංස්කෘත හා දෙමල මිශ්‍රිත භාෂාවක් විය. 
                       එසේම නාඩගම් වල  පොතේ ගුරා විසින් කියනු ලබන පුර්ණ විරිඳුව සංස්කෘත නාට්‍ය වල නාන්දියට සමානකමක් දක්වයි. නාඩගම් සංගීතය මුල්කාලීනව ද්‍රවිඩ වුවද ගැමි ගැමි ගායකයන් ගායනා කල සිංහල වචන වල උච්ඡාරණය අනුව ඊට දේශීය ශෛලියක් ආරුඪ වී තිබෙන නිසාත් එය සිංහල සංගීතයක් බවට පත් විය. නාඩගම් වලට අයත් පදය වෘත්තයන් ස්වර දීර්ඝ කොට ඇද පැද ගායන ක්‍රමය වූ කලි සිංහල ගැමි ගී හා සමාන ක්‍රමයකට නෑකම් කියන බව නොකිවමනාය. මෙම හේතූන් නිසා නාඩගම් සංගීතය මේ රටේ සංස්කෘතික වාතාවරණයට ගැලපෙන පරිදි සකස් කරගැනීමට සිංහලයන් සමත් විය.
මේ අනුව නාඩගම් සංගීතය තුළ දක්නට ලැබෙන අන්තර් සංස්කෘතික ලක්ෂණ පෙන්වා දිය හැක.

No comments:

Post a Comment