ළමයා යනු කව්රුන්දැයි ළමා ආරක්ෂක අධිකාරිය හා ළමා හා පරිවාස කාර්යාංශය විසින් නිර්වචනය කර තිබෙන්නේ "මුලික වශයෙන් දෙමාපිය රැකවරණය යටතේ ජිවත්වන වයස අවු.18 දක්වා වූ කොට්ඨාශයයි" යනුවෙනි. ළමයා පිලිබඳ ජිව විග්රහාත්මක විග්‍රහය මිට වඩා වෙනස් ය. කුඩා දරුවා සම්බන්ධ රටෙහි මාධ්‍ය වාර්තාකරණය හා විශේෂාංග රචනය කෙතරම් විවාද සම්පන්නද යන්න පිලිබඳ විද්වත් කථිකා ඇතිවී තිබේ. නෛතික වශයෙන් ළමා ආරක්ෂක අධිකාරිය විසින් ළමයා අර්ථ දක්වා ඇත්තේ "රැකවරණය ලැබිය යුතු කෙනෙකු" ලෙසයි. වැඩිහිටි රැකවරණය සඳහා අයත් වන්නේ දෙමාපිය, ගුරුවරු පමණක් නොව සමස්ත සමාජයම වේ.
සමාජය පවත්වාගෙන යාමෙහිලා උපකාරීවන මූලික මෙවලම වන්නේ ජනමාධ්‍යයයි. ජනමාධ්‍ය කුඩා දරුවා නිරුපණයේදී කෙතරම් දුරට සාධාරණයක් කර තිබේද යන්න විමසා බැලිය යුතුය. මේ සදහා ආචාර ධර්ම පනවාගෙන තිබුනද ඒවා ක්‍රියාත්මකවීම යම් තරමක් ගැටළු සහගත වේ. නිදසුනක් ලෙස ගතහොත් යම් ළමා අපරාධයකදී ළමා මුහුණ ප්‍රදර්ශනය කිරීම තහනම් වුවද එය ජනමාධ්‍යයේදී නිසි පරිදි ක්‍රියාත්මක නොවේ. අපරාධ පමණක් නොව දරුවා සම්බන්ධ ක්‍රීඩා, සමාජීය සිදුවීම් වාර්තාකරණයේදී පවා ජනමාධ්‍ය ළමුන්ට කෙතරම් දුරට සාධාරණයක් ඉටු කරන්නේද යන්න අවධානය යොමු කල යුතුය. වෙළඳ දැන්වීම් අද වනවිට කුඩා දරුවා අළලා තම නිෂ්පාදන ප්‍රචාරය කිරීම සුලබ කරුණකි. සබන්,රසකැවිලි, කිරිපිටි නිෂ්පාදනයන්හි ළමයා වැඩි වශයෙන් නිරුපණය කෙරේ. නමුත් ළමයාගේ රූපය ඔහුට අයිති වුවකි. එය අන්‍ය අවශ්‍යතාව මත භාවිත කිරීම නීති විරෝධී වේ.
බොහෝවිට දරුවන් පාරිභෝගිකයන් නොවන බැවින් ඔවුන්ගේ භාරකරුවන් අපහසුතාවට පත් නොවන පරිදි හැසිරවීමට හැකිවන පරිදි වෙළඳ දැන්වීම් සකස් කිරීම වැදගත් වේ. නමුත් වර්තමානයේ එයට හාත්පසින්ම වෙනස්වූ නිර්මාණයන් දක්නට ලැබීම කණගාටුවට කරුණකි. නිදසදුන් ලෙස ස්ටිකර් ලබාදීම, බයිසිකල් නිවසටම ගෙන්වාදීම, පරිගණක ලබාදීම ආදිය දැක්විය හැක. මෙමගින් කුඩා දරුවා අදාළ නිෂ්පාදනය අවශ්‍ය බවට තරයේ දෙමව්පියන්හට ඇවිටිලි කිරීම දක්වා ගැටළු උද්ගත වේ. මධ්‍යම පාන්තිකන්ගේ ආශාවන් ඉලක්ක කරගැනීම මෙහිදී දැන්විම්කරුවා විසින් සිදුකරයි. එසේම ළමයාගේ සිනහව, හැඩීම, රූපය,ප්‍රීතිය අලෙවි කරනු ලැබීමද මෙහිදී සදහන් කලයුතුය. සබන් දැන්වීමක ළමයාගේ සුරතල්/කෙළිලොල් බව අදාළ නිෂ්පාදනය මිලදී ගැනීම කෙරෙහි ජනතාව පොළඹවනු ලබයි. කොමර්ෂල් ක්‍රෙඩිට් දැන්වීමෙහිද පියාගේ කාර්යබහුලත්වය ළමයා කෙරෙහි බලපාන ආකාරය "ඒ ගෙදරට නම් මේ වගේ කාමරයක් හදන්න එපා" යන දෙබස තුළින් මනා ලෙස ගම්‍ය වේ. වැඩිහිටියෙකු හට තම කැමැත්ත මත රූපය විකිණිය හැකිවුවද ළමයාගේ රූපය විකිණීමට ඔවුන්ට ඇති අයිතිය කුමක්ද? පසුගිය දේශපාලන මැතිවරණ සමයේදී ප්‍රචාරණ දැන්වීම් සඳහා බහුල ලෙස කුඩා දරුවා යොදා ගැනුණි. එහිදී ළමුන් හඬවා ඉදිරිපත් කිරීමේ නිරූපණ දක්නට ලැබුණි. මෙහි සත්‍ය තත්ත්වය යන්න ළමුන් හඬනා මොහොතක් එනතුරු රුපවාහිනී කැමරාව නොසිටින බවයි. එසේනම් තම කාර්යය ඉටුකර ගැනීමට බලහත්කාරයෙන් ළමයා හැඩවිම සිදු කරයි. මෙවැනි අවස්ථා සහිත වෙළඳ දැන්වීම් ශ්‍රී ලංකාව තුළ බහුලව දැකගත හැකිය. මෙය ළමයා හා සම්බන්ධ ආචාර ධර්ම කඩ කරන අවස්ථාවකි. මෙහිදී මාධ්‍ය ආචාර ධර්ම පමණක් නොව මුලික මානුෂිය අයිතිවාසිකම් ද කඩ වේ. නළුවෙකුට නිළියකට ඇස්වලට ග්ලිසරින් අල්ලා කෘතීම කඳුළු ගෙන හැඬවිය හැකි වුවුද කුඩා දරුවන්ට එසේ කල නොහැක.
ආසියානු රටවල ළමයා පිලිබඳ ප්රවෘත්ති වාර්තා කිරීමේදී මෙන්ම විශේෂාංග නිරුපණයේදී ද බරපතල ගැටළු උද්ගතවී තිබේ. දීමනා හා සම්බන්ධ වෙළඳ දැන්වීම් බරපතල ලෙස මාධ්‍ය ආචාරධර්ම උල්ලංඝනය කෙරේ. ළමයා සම්බන්ධ මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝණය වනබව නොදැනෙන තරමට වෙළඳ දැන්වීම් නිර්මාණශීලිව සකස් කරනු ලැබේ. කුඩා කාලයේදී මෙවැනි දැන්වීම් සඳහා නිරූපණ කටයුතුවල නිරත වුවද ඔහු/ඇය තරුණයකු/තරුණියක/වැඩිහිටියකු වූ පසු අදාළ වෙළඳ දැන්වීම අහිතකර ලෙස බලපෑමේ හැකියාව වැඩිය. එනම් අසවල් නිෂ්පාදනයේ සිටි ළමයා ලෙස ඔහු/ඇය ආමන්ත්‍රණය කිරීම සමාජය විසින් සිදුකරනු ලබයි. මෙලෙස කුඩා දරුවා විකුණා ඇත්තේ වැඩිහිටියන් විසිනි. දැන්වීම් තුළ නිරූපිත ළමයා පමණක් නොව දැන්වීම් ග්‍රහණයට ලක්වන ළමයා තුළද හිංසන ක්‍රියාදාමය සිදුවන බව සඳහන් කල යුතුමය. ළමයා ඉලක්ක කරගනිමින් දැන්වීම් ඉදිරිපත්කිරීමේ අරමුණ වන්නේ දරුවා යනු සමාජය පිලිබඳ එකවර තේරුම් ගැනීමට නොහැකි, නිෂ්පාදන වෙත ක්ෂණික ප්‍රියතාවක් ඇතිවන කොට්ඨාශයක් නිසාවෙනි. එම දැන්වීම් තුළින් ඉදිරිපත් කරන දෑ තමන්ට අවශ්‍ය වන්නේ කෙසේදැයි තේරුම් ගැනීමටවත් ඔවුනට හැකියවක් නැත. එහෙත් ඔවුන් තුළ ඇති කරනු ලබන සුන්දර උත්තේජනය නිසාවෙන් ඒවා තමන් විසින් පරිහරණය කළයුතු යැයි සිතති. එසේම මෙම දැන්වීම්කරණය තුළින් ඇතිවන ආසාවල් සඵල කරගැනීමට නොහැකිව බරපතල ලෙස මානසික බිඳවැටීමට ලක්වන දරුවන්ද දැකගත හැක. මෙය වඩාත් බරපතල මානසික ගැටලුවක් බවට පත්වනුයේ තමන්ට එම භාණ්ඩ පරිහරණය කිරීමට නොහැකි වුවාට අනෙක් ළමුන් ඒවා පරිහරණය කරන බව දැකීමෙනි. මෙම තත්ත්වයට ළමයා ඇද දමන්නේ දැන්විම්කරුවා විසිනි. විටෙක මෙම සිද්ධිය දැන්වීම සඳහා ද පාදක කොටගනී. එනම් කිසියම් භාණ්ඩයක් මිලදීගත් දරුවෙක් මිලදී නොගත් දරුවාව හාස්‍යයට ලක් කරන ආකාරයේ දැන්වීම් අදවන විට නිර්මාණය වී තිබේ. නිදසුන් ලෙස BOC රන් කැකුළු වෙළඳ දැන්වීම, Life Boy Handwash වෙළඳ දැන්වීම, Maliban Real Chocolate Cream Biscuit වෙළඳ දැන්වීම ආදිය දැක්විය හැක.
මීට අමතරව විවිධ කූපන, දවටන, ලාංඡන එකතු කිරීමට නුහුරු ස්ථාන වලට දරුවන් යොමුකරන වෙළඳ දැන්වීම් නොපෙන්විය යුතුය. මෙය සෞඛ්‍යයට තර්ජනයක් විය හැකිය. කෙසේ හෝ නුතනය වනවිට දැන්වීම්කරණය ඔස්සේ ළමයා හට විශාල බලපෑමක් වී ඇති බව තහවුරු වේ. තමන්ගේ දෙමව්පියන් නොමැති වුවද ජිවත් වීමට හැකි බව, දෙමව්පියන්හට විරෝධය පාන අදහස් නුතන දැන්වීම් තුළ නිරුපණය වේ. චන්ඩි බන්ඩි වෙන්නේ කෙසේද, කිරි රැවුල සකසා ගන්නේ කෙසේද යන්න ප්‍රධාන ගැටළු ලෙස කුඩා මනස තුළ ස්ථාපිත කිරීමට දැන්වීම්කරණය සමත්වී තිබේ. මේ ඔස්සේ දරුවා හිංසනයට ලක්වනවා සේම අපේක්ෂා භංගත්වය, කනස්සල්ල, අතෘප්තිය ආදිය දරුවාට සෘජු ලෙස බලපෑම් කරනු ලබයි. ළමයින් සඳහා වූ දැන්විම්කරණ ආචාර ධර්ම පද්ධතියක අවශ්‍යතාව තදබල ලෙස දැනුනද ඒ සම්බන්ධ කිසිදු පාර්ශවයක අවධානය යොමුවී නොමැත. මේ අනුව තවදුරටත් ලාංකික වෙළඳ දැන්විම්කරුවා ළමා අපරාධකරුවෙකු ලෙස ක්‍රියාත්මක වනවා නොඅනුමානයි.
------------------------------------------------------------------------------
No comments:
Post a Comment