Wednesday, November 20, 2019

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය (කඩවත- කෙරවලපිටිය අධිවේගී මාර්ගය)


1815-1948 අතර දශක ගණනාවක් අප රට ඉංග්‍රීසි පාලනයට නතු වූ වකවානුවක් වන අතර රටේ මාර්ග පද්ධති මෙන්ම විවිධ වූ නගර තම අවශ්‍යතා මත දියුණු කිරීම මෙම වකවානුව තුළ දැකිය හැකි විය. සුපිරි අධිවේගී මාර්ග පිළිබඳ අප රට තුළ කතාබහ කිරීම ආරම්භ වූයේ 90 දශකයේ මුල් භාගයේ සිටය. එදා මෙදා තුර නිදහස් ශ්‍රී ලංකාවක් තුළ එකල බිහි වූ මාර්ග සංස්කෘතිය දිග්විජය කරමින් නව මංමාවත් මෙන්ම අධිවේගී මාර්ග ද මෙරට මාර්ග පද්ධතියට අලුතින් එක්වීම විශේෂත්වයයි. රටක සංවර්ධන ක්‍රියාලියේදී යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය කටයුත්තකි. මෙහිදී මහාමාර්ග පද්ධතියට හිමි වන්නේ සුවිශේෂ වූ ස්ථානයකි. මක්නිසාද යත් රට අභ්‍යන්තරයේ සිදුවන ප්‍රවාහන කටයුතු වලදී මාර්ග පද්ධතියට විශේෂ ස්ථානයක් හිමිවන බැවිනි. මේ නිසා විවිධ වූ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා මෙන්ම ගුණාත්මක හා කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් පවත්වා ගෙන යාමට මහාමාර්ග සංවර්ධනය අත්‍යාවශ්‍ය සාධකයකි.
                        රටක මානව කටයුතු සියල්ලක්ම සිදු වන්නේ පරිවහනය මුල් කරගෙනය. මේ නිසා රටේ සංවර්ධනයත්, පරිවහනයත් අතර ඇත්තේ දැඩි සමීප සබඳතාවයකි. මාගම්පුර වරාය, මත්තල ගුවන් තොටුපල, මාතර සිට ඉදිවන දුම්රිය මාර්ගය වර්තමාන සවර්ධනයේ නව අත්දැකීම්ය. මේ අතරින් 2011 නොවැම්බර් 27 වන දින ආරම්භ කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගය මෙරට කැපී පෙනෙන සංවර්ධන කටයුත්තක් ලෙස සඳහන් කල හැක. මෙය කිලෝමීටර 124.5 පමණ දිගින් යුක්ත වේ.
                        මෑතක් වන තුරුම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ අධිවේගී මාර්ග ලෙස දක්නට ලැබුනේ දක්ෂිණ අධිවේගී මාර්ගය, පිටත වටරවුම් මාර්ගය හා කටුනායක අධිවේගී මාර්ගයන්ය. මෙම මාර්ග වල සම්පුර්ණ එකතුව කිලෝමීටර 170 කි. ඒ අනුව

·         කටුනායක අධිවේගී මාර්ගය - පැලියගොඩ සිට කටුනායක, සීදුව දක්වා
·         පිටත වටරවුම් මාර්ගය - කඩවත සිට කොට්ටාව දක්වා
·         දක්ෂිණ අධිවීගි මාර්ගය - කොට්ටාව සිට මාතර ගොඩගම දක්වා

කඩවත සිට මාතර ගොඩගම දක්වා මාර්ගයද පසුකාලීනව දක්ෂිණ අධිවේගී මාර්ගය ලෙස හඳුන්වන ලදී. ලංකාවේ මාර්ග පද්ධතියට පළමුවෙන්ම එකතු වන අධිවේගී මාර්ගය වන්නේ ද දක්ෂිණ අධිවේගී මාර්ගයයි. මෙහි ඉදිකිරීම් කටයුතු කොටස් 4ක් යටතේ ආරම්භ කෙරුණු අතර එකී ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුව, ජපන් සහයෝගිතා අරමුදල හා චීන අපනයන බැංකුව මගින් ණය ආධාර ලබාගනු ලැබිය. මෙය පිවිසුම් මාර්ග 11කින් සමන්විත වේ.

                          ශ්‍රී ලංකාව තුළ කොළඹ වටා ඉදි කෙරෙමින් පවතින අධිවේගී මාර්ගය වන්නේ කොළඹ පිටත වටරවුම අධිවේගී මාර්ගයයි. කිලෝමීටර 29ක් දිගැති මාර්ගය, කොළඹ- මාතර අධිවේගී මාර්ගය , කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය හා අපේක්ෂිත කොළඹ-කුරුණෑගල අධිවේගී මාර්ගය සමග සම්බන්ධ කර කොළඹ නගරය මග හරිමින්, වාහන තදබදයට විසඳුමක් ලෙස දියත් කරන ලද්දකි. මෙය ශ්‍රී ලංකාව තුළ ඉදිවන වැය අධිකම මාර්ගය වන අතර ඇමරිකානු ඩොලර් මිලියන 57ක් මේ සඳහා වැයකොට තිබේ. මෙම ව්‍යාපෘතිය ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (JICA) විසින් සිදු කරන්නකි. මාර්ගයේ ඉදිකිරීම් අදියර 3ක් යටතේ සිදු කරන අතර එහි පළමු අදියර වන්නේ කොට්ටාව සිට කඩුවෙලට කිලෝමීටර 11ක දුර ප්‍රමාණයකින් යුත් මාර්ගයයි. එය 2014 මාර්තු මස 8 දින ජනතා අයිතියට පත් කෙරිණි. එහි දෙවන අදියර වන්නේ 2016 ජනවාරි මස ආරම්භ කළ කඩවත සිට කෙරවලපිටිය දක්වා වූ කිලෝමීටර 9.2 සහ පළල මීටර 24.5 සහිත මාර්ගයයි. ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගය හා  කටුනායක අධිවේගී මාර්ගය යා කරන පිටත වටරවුම මාර්ගයේ 3 වන කොටස වන කඩවත සිට කෙරවලපිටිය දක්වා වූ මාර්ගය 2019 නොවැම්බර් මස 07 වන දින පස්වරුවේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  ජනතා අයිතියට පත් කරන ලදී. ඒ සඳහා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා, විදුලිබල , බලශක්ති හා ව්‍යාපාර අමාත්‍ය රවී කරුණානායක මහතා ද සහභාගී විය. මෙම අධිවේගී මාර්ගය විවෘත කිරීමත් සමග කොළඹ කටුනායක අධිවේගී මාර්ගය සහ දක්ෂිණ අධිවේගී මාර්ගය එක්වන සංධිස්ථානය බවට කෙරවලපිටිය සඳහන් කල හැක. මෙලෙස රටම ආවරණය වන පරිදි නව වටරවුම් අධිවේගී මාර්ගයක් නිර්මාණය කිරීමට හේතු වන්නේ ශ්‍රී ලංකාව ඉලිප්සාකාර හැඩයක් සහිත රටක් වීමයි. එනිසාවෙන් වෙරළට සමාන්තරව කිලෝමීටර 40-50 පමණ දුරකින් ඉදිකෙරෙන මෙම අධිවේගී මාර්ගයට පසු කලෙක නව අධිවේගී මාර්ගයන්ද සම්බන්ධ කළහැකි බව අදහසයි.
                          මෙම අධිවේගී මාර්ගයන් ඉදි කිරීමත් සමග ජනතාවට සිදුවන වාසි දැකගත හැක. එහිදී අවධානය යොමුවන ප්‍රධානතම කරුණ වන්නේ කාලය ඉතිරි වීමයි. මීට පෙර කොළඹ සිට ගාල්ලට පැය තුනහමාරක ගමන අද වනවිට පැයක කාලයකදී ගමන් කිරීමට හැකියාව ලැබී තිබේ. එමෙන්ම වාහන තදබදය මග හරිමින්, ප්‍රමාදවීම් වළක්වා ගනිමින් ප්‍රවාහන කටයුතුහි යෙදීමට ජනතාවට හැකිවී තිබේ. පෞද්ගලික අංශයේ ආයෝජනයට ද  අධිවේගය හොඳ තෝතැන්නක් වී තිබේ. දකුණේ සංචාරක කර්මාන්තයේ වර්ධනයට හා ගාලු වරායට අධිවේගය මගින් ලැබෙන්නේ දැඩි පිටුබලයකි. මෙවැනි අධිවේගී මාර්ග පද්ධතියක් ඉදි කිරීමෙන් පසු මුළු රටම පාහේ එකට බද්ධ වන නිසාවෙන් දැනට දුෂ්කර ලෙස හඳුන්වනු ලබන බොහෝ පළාත් ඉතා ඉක්මනින් දියුණු වනවා නොඅනුමානයි. ව්‍යාපාරිකයින් තමන්ගේ කර්මාන්ත ශාලා හා ව්‍යාපාර මධ්‍යස්ථාන රටපුරාම ඉදි කිරීමට දැනටමත් පෙළඹී ඇත. නව හෝටල් සංකීර්ණ සහ සංචාරක යටිතල පහසුකම් ඉදි කිරීමට ද මේ හරහා පිටුබලයක් ලැබෙනු ඇත. ජාත්‍යනතර ආයෝජකයන්ට සහ සංචාරකයන්ට ශ්‍රී ලංකාව වඩාත් ආකර්ෂණිය ස්ථානයක් බවට පත් කිරීමටද මෙම කාර්යක්ෂම ප්‍රවාහන ක්ෂේත්‍රය ඉවහල් වී ඇත. දැනට පිඩාවට පත්ව ඇති ශ්‍රී ලංකාවේ ඉහළ, මධ්‍යම හා කුඩා පරිමාණ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට නව ජීවයක් ද මේ හරහා උදා වී තිබේ.
                         අධිවේගී මාර්ග සංවර්ධනයේදී එහි මුලික උපදේශන කටයුතු සඳහා ඇ.ඩො. මිලියන 200 වියදම් වී තිබේ. 2021 සිට 2025 දක්වා වසර 5 තුළදී මෙම ව්‍යාපෘතියේ සියල්ල කඩිනමින් අවසන් කිරීමට නම් භෞතික මාර්ග සැකසුම් හා ඉදිකිරීම් සඳහා සාමාන්‍යයෙන් වසරකට ඇ.ඩො. මිලියන 870 මුදලක් හෙවත් රුපියල් බිලියන 157 ක මුදලක් ආයෝජනය කිරීමට රජයට සිදු වනු ඇත.
                          කෙසේ හෝ මංතීරු 4කින් සමන්විත සහ අභ්‍යන්තර ගුවන් පාලම පහකින් ඉදිවූ කඩවත- කෙරවලපිටිය නව අධ්වේගී මාර්ගය රටෙහි ආර්ථිකයට දැවැන්ත ශක්තියක් වනු ඇතැයි විශ්වාස කරමු.

Friday, July 26, 2019

Health


ළමයා සහ ලාංකික වෙළඳ දැන්වීම්කරණය

                                         ළමයා යනු කව්රුන්දැයි ළමා ආරක්ෂක අධිකාරිය හා ළමා හා පරිවාස කාර්යාංශය විසින් නිර්වචනය කර තිබෙන්නේ "මුලික වශයෙන් දෙමාපිය රැකවරණය යටතේ ජිවත්වන වයස අවු.18 දක්වා වූ කොට්ඨාශයයි" යනුවෙනි. ළමයා පිලිබඳ ජිව විග්‍රහාත්මක විග්‍රහය මිට වඩා වෙනස් ය. කුඩා දරුවා සම්බන්ධ රටෙහි මාධ්‍ය වාර්තාකරණය හා විශේෂාංග රචනය කෙතරම් විවාද සම්පන්නද යන්න පිලිබඳ විද්වත් කථිකා ඇතිවී තිබේ. නෛතික වශයෙන් ළමා ආරක්ෂක අධිකාරිය විසින් ළමයා අර්ථ දක්වා ඇත්තේ "රැකවරණය ලැබිය යුතු කෙනෙකු" ලෙසයි. වැඩිහිටි රැකවරණය සඳහා අයත් වන්නේ දෙමාපිය, ගුරුවරු පමණක් නොව සමස්ත සමාජයම වේ.

සමාජය පවත්වාගෙන යාමෙහිලා උපකාරීවන මූලික මෙවලම වන්නේ ජනමාධ්‍යයයි. ජනමාධ්‍ය කුඩා දරුවා නිරුපණයේදී කෙතරම් දුරට සාධාරණයක් කර තිබේද යන්න විමසා බැලිය යුතුය. මේ සදහා ආචාර ධර්ම පනවාගෙන තිබුනද ඒවා ක්‍රියාත්මකවීම යම් තරමක් ගැටළු සහගත වේ. නිදසුනක් ලෙස ගතහොත් යම් ළමා අපරාධයකදී ළමා මුහුණ ප්‍රදර්ශනය කිරීම තහනම් වුවද එය ජනමාධ්‍යයේදී නිසි පරිදි ක්‍රියාත්මක නොවේ. අපරාධ පමණක් නොව දරුවා සම්බන්ධ ක්‍රීඩා, සමාජීය සිදුවීම් වාර්තාකරණයේදී පවා ජනමාධ්‍ය ළමුන්ට කෙතරම් දුරට සාධාරණයක් ඉටු කරන්නේද යන්න අවධානය යොමු කල යුතුය.  වෙළඳ දැන්වීම් අද වනවිට කුඩා දරුවා අළලා තම නිෂ්පාදන ප්‍රචාරය කිරීම සුලබ කරුණකි. සබන්,රසකැවිලි, කිරිපිටි නිෂ්පාදනයන්හි ළමයා වැඩි වශයෙන් නිරුපණය කෙරේ. නමුත් ළමයාගේ රූපය ඔහුට අයිති වුවකි. එය අන්‍ය අවශ්‍යතාව මත භාවිත කිරීම නීති විරෝධී වේ. 

                                         බොහෝවිට දරුවන් පාරිභෝගිකයන් නොවන බැවින් ඔවුන්ගේ භාරකරුවන් අපහසුතාවට පත් නොවන පරිදි හැසිරවීමට හැකිවන පරිදි වෙළඳ දැන්වීම් සකස් කිරීම වැදගත් වේ. නමුත් වර්තමානයේ එයට හාත්පසින්ම වෙනස්වූ නිර්මාණයන් දක්නට ලැබීම කණගාටුවට කරුණකි. නිදසදුන් ලෙස ස්ටිකර් ලබාදීම, බයිසිකල් නිවසටම ගෙන්වාදීම, පරිගණක ලබාදීම ආදිය දැක්විය හැක. මෙමගින් කුඩා දරුවා අදාළ නිෂ්පාදනය අවශ්‍ය බවට තරයේ දෙමව්පියන්හට ඇවිටිලි කිරීම දක්වා ගැටළු උද්ගත වේ. මධ්‍යම පාන්තිකන්ගේ ආශාවන් ඉලක්ක කරගැනීම මෙහිදී දැන්විම්කරුවා විසින් සිදුකරයි. එසේම ළමයාගේ සිනහව, හැඩීම, රූපය,ප්‍රීතිය අලෙවි කරනු ලැබීමද මෙහිදී සදහන් කලයුතුය. සබන් දැන්වීමක ළමයාගේ සුරතල්/කෙළිලොල් බව අදාළ නිෂ්පාදනය මිලදී ගැනීම කෙරෙහි ජනතාව පොළඹවනු ලබයි. කොමර්ෂල් ක්‍රෙඩිට් දැන්වීමෙහිද පියාගේ කාර්යබහුලත්වය ළමයා කෙරෙහි බලපාන ආකාරය "ඒ ගෙදරට නම් මේ වගේ කාමරයක් හදන්න එපා" යන දෙබස තුළින් මනා ලෙස ගම්‍ය වේ. වැඩිහිටියෙකු හට තම කැමැත්ත මත රූපය විකිණිය හැකිවුවද ළමයාගේ රූපය විකිණීමට ඔවුන්ට ඇති අයිතිය කුමක්ද? පසුගිය දේශපාලන මැතිවරණ සමයේදී ප්‍රචාරණ දැන්වීම් සඳහා බහුල ලෙස කුඩා දරුවා යොදා ගැනුණි. එහිදී ළමුන් හඬවා ඉදිරිපත් කිරීමේ නිරූපණ දක්නට ලැබුණි. මෙහි සත්‍ය තත්ත්වය යන්න ළමුන් හඬනා මොහොතක් එනතුරු රුපවාහිනී කැමරාව නොසිටින බවයි. එසේනම් තම කාර්යය ඉටුකර ගැනීමට බලහත්කාරයෙන් ළමයා හැඩවිම සිදු කරයි. මෙවැනි අවස්ථා සහිත වෙළඳ දැන්වීම් ශ්‍රී ලංකාව තුළ බහුලව දැකගත හැකිය. මෙය ළමයා හා සම්බන්ධ ආචාර ධර්ම කඩ කරන අවස්ථාවකි. මෙහිදී මාධ්‍ය ආචාර ධර්ම පමණක් නොව මුලික මානුෂිය අයිතිවාසිකම් ද කඩ වේ. නළුවෙකුට නිළියකට ඇස්වලට ග්ලිසරින් අල්ලා කෘතීම කඳුළු ගෙන හැඬවිය හැකි වුවුද කුඩා දරුවන්ට එසේ කල නොහැක. 

                                        ආසියානු රටවල ළමයා පිලිබඳ ප්‍රවෘත්ති වාර්තා කිරීමේදී මෙන්ම විශේෂාංග නිරුපණයේදී ද බරපතල ගැටළු උද්ගතවී තිබේ. දීමනා හා සම්බන්ධ වෙළඳ දැන්වීම් බරපතල ලෙස මාධ්‍ය ආචාරධර්ම උල්ලංඝනය කෙරේ. ළමයා සම්බන්ධ මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝණය වනබව නොදැනෙන තරමට වෙළඳ දැන්වීම් නිර්මාණශීලිව සකස් කරනු ලැබේ. කුඩා කාලයේදී මෙවැනි දැන්වීම් සඳහා නිරූපණ කටයුතුවල නිරත වුවද ඔහු/ඇය තරුණයකු/තරුණියක/වැඩිහිටියකු  වූ පසු අදාළ වෙළඳ දැන්වීම අහිතකර ලෙස බලපෑමේ හැකියාව වැඩිය. එනම් අසවල් නිෂ්පාදනයේ සිටි ළමයා ලෙස ඔහු/ඇය ආමන්ත්‍රණය කිරීම සමාජය විසින් සිදුකරනු ලබයි. මෙලෙස කුඩා දරුවා විකුණා ඇත්තේ වැඩිහිටියන් විසිනි. දැන්වීම් තුළ නිරූපිත ළමයා පමණක් නොව දැන්වීම් ග්‍රහණයට ලක්වන ළමයා තුළද හිංසන ක්‍රියාදාමය සිදුවන බව සඳහන් කල යුතුමය. ළමයා ඉලක්ක කරගනිමින් දැන්වීම් ඉදිරිපත්කිරීමේ අරමුණ වන්නේ දරුවා යනු සමාජය පිලිබඳ එකවර තේරුම් ගැනීමට නොහැකි, නිෂ්පාදන වෙත ක්ෂණික ප්‍රියතාවක් ඇතිවන කොට්ඨාශයක් නිසාවෙනි. එම දැන්වීම් තුළින් ඉදිරිපත් කරන දෑ තමන්ට අවශ්‍ය වන්නේ කෙසේදැයි තේරුම් ගැනීමටවත් ඔවුනට හැකියවක් නැත. එහෙත් ඔවුන් තුළ ඇති කරනු ලබන සුන්දර උත්තේජනය නිසාවෙන් ඒවා තමන් විසින් පරිහරණය කළයුතු යැයි සිතති. එසේම මෙම දැන්වීම්කරණය තුළින් ඇතිවන ආසාවල් සඵල කරගැනීමට නොහැකිව බරපතල ලෙස මානසික බිඳවැටීමට ලක්වන දරුවන්ද දැකගත හැක. මෙය වඩාත් බරපතල මානසික ගැටලුවක් බවට පත්වනුයේ තමන්ට එම භාණ්ඩ පරිහරණය කිරීමට නොහැකි වුවාට අනෙක් ළමුන් ඒවා පරිහරණය කරන බව දැකීමෙනි. මෙම තත්ත්වයට ළමයා ඇද දමන්නේ දැන්විම්කරුවා විසිනි. විටෙක මෙම සිද්ධිය දැන්වීම සඳහා ද පාදක කොටගනී. එනම් කිසියම් භාණ්ඩයක් මිලදීගත් දරුවෙක් මිලදී නොගත් දරුවාව හාස්‍යයට ලක් කරන ආකාරයේ දැන්වීම් අදවන විට නිර්මාණය වී තිබේ. නිදසුන් ලෙස BOC රන් කැකුළු වෙළඳ දැන්වීම, Life Boy Handwash වෙළඳ දැන්වීම, Maliban Real Chocolate Cream Biscuit වෙළඳ දැන්වීම ආදිය දැක්විය හැක. 


                   මීට අමතරව විවිධ කූපන, දවටන, ලාංඡන එකතු කිරීමට නුහුරු ස්ථාන වලට දරුවන් යොමුකරන වෙළඳ දැන්වීම් නොපෙන්විය යුතුය. මෙය සෞඛ්‍යයට තර්ජනයක් විය හැකිය. කෙසේ හෝ නුතනය වනවිට දැන්වීම්කරණය ඔස්සේ ළමයා හට විශාල බලපෑමක් වී ඇති බව තහවුරු වේ. තමන්ගේ දෙමව්පියන් නොමැති වුවද ජිවත් වීමට හැකි බව, දෙමව්පියන්හට විරෝධය පාන අදහස් නුතන දැන්වීම් තුළ නිරුපණය වේ. චන්ඩි බන්ඩි වෙන්නේ කෙසේද, කිරි රැවුල සකසා ගන්නේ කෙසේද යන්න ප්‍රධාන ගැටළු ලෙස කුඩා මනස තුළ ස්ථාපිත කිරීමට දැන්වීම්කරණය සමත්වී තිබේ. මේ ඔස්සේ දරුවා හිංසනයට ලක්වනවා සේම අපේක්ෂා භංගත්වය, කනස්සල්ල, අතෘප්තිය ආදිය දරුවාට සෘජු ලෙස බලපෑම් කරනු ලබයි. ළමයින් සඳහා වූ දැන්විම්කරණ ආචාර ධර්ම පද්ධතියක අවශ්‍යතාව තදබල ලෙස දැනුනද ඒ සම්බන්ධ කිසිදු පාර්ශවයක අවධානය යොමුවී නොමැත. මේ අනුව තවදුරටත් ලාංකික වෙළඳ දැන්විම්කරුවා ළමා අපරාධකරුවෙකු ලෙස ක්‍රියාත්මක වනවා නොඅනුමානයි.

------------------------------------------------------------------------------

Tuesday, May 21, 2019

කොන්ක්‍රීට් වනපියස තුල ශේෂ වූ සොබාදම් අසිරියේ අවසන් ගමන (බෙල්ලන්විල - අත්තිඩිය කුරුළු අභය භුමිය)

            
             සෑම ජීවී කොටසක්ම අන්‍යෝන්‍ය වශයෙන් ඔවුනොවුන්ගෙන් පරිසරය සමග බැඳී සිටින අතර පරිසරය සියලුම ජීවී කොටස් සමග බැඳී සිටියි. නමුත් දිගුකාලීනව මිනිස් වර්ගයා විසින් ස්වභාවික පරිසර පද්ධතීන්හි කරනු ලබන විවිධාකාර ක්‍රියාකාරකම් තුලින් තම ජිවන මට්ටම්, පහසු හා සුඛෝපභෝගී තලයන්ට ගෙනඒමට නොනවතින ගමනක යෙදෙමින් සිටි. මෙහිදී අත්තනෝමතිකව පාලනයකින් හෝ සංයමයකින් තොරව පරිසරය හා ජිවින් අතර පවතින අන්‍යෝන්‍ය බැදීම් සහ ඒ අතර ඇති ස්වභාවික තුලනය පිලිබඳ හැගීම් විරහිතව ක්‍රියා කිරීමට මිනිසා පෙළඹී ඇත. මිනිසා වසර දහස් ගණනාවක් මුළුල්ලේ තම ප්‍රයෝජනය උදෙසා නිවාස, මංමාවත්, උද්‍යාන ගොඩනගමින් හා ස්වභාවික ඵල වැල හා අස්වැනු නෙලාගනිමින් ද පරිසරයෙන් ප්‍රයෝජන ලැබීය. එහෙත් ඒ අතරතුර අවාසනාවන්ත ලෙස, අප වැව් හා දිය පහරවල් දූෂිත තත්ත්වයට පත් කරමින් ජනපද හා කෘෂිකර්මයට ඉඩ සැලසීම සඳහා වනාන්තර එළිපෙහෙළි කර ඇත. එමෙන්ම අපගේ සාම්ප්‍රදායික ශාක හා භෝග විශේෂයන් වෙනුවට නවීන සහ ආගන්තුක විශේෂයන් යොදා ගෙන තිබේ. මෙම පරිසර විනාශයත් සමගම පරිසරය මගින් මිනිස් ජිවිත කෙරෙහිද බලපෑම ඇති කරනු ලබයි.

                         අසූව දශකය වන විට ජෛව විවිධත්වයෙන් ඉතා පොහොසත් ප්‍රදේශයක් ලෙස බෙල්ලන්විල - අත්තිඩිය ප්‍රචලිත වූයේ සංක්‍රමණික පක්ෂි විශේෂ රාශියක ගේ ලැඟුම් පොළක් මෙන් ම ගොදුරුබිමක් වීම නිසා ය. මේ තත්ත්වය හේතුවෙන් 1980 වර්ෂයේ දී නාගරික සංවර්ධන අධිකාරිය විසින් අධ්‍යාපනික හා සංරක්ෂණ කලාපයක් ලෙස බෙල්ලන්විල - අත්තිඩිය ප්‍රකාශයට පත් කරන ලදි. ඉන් පසු තෙත්බිම් සුරැකීම පිළිබඳ අන්තර් ජාතික රැම්සා ප්‍රඥප්තියට අනුව 1989 දී ආසියාවේ වැදගත් තෙත් බිම් 947කින් යුත් නාමාවලියට බෙල්ලන්විල - අත්තිඩිය වගුරු බිම ද එක් කෙරිණි. බෙල්ලන්විල අත්තිඩිය කුරුලූ අභය භූමිය පිළිබඳව අවධානය යොමුකර මේ වනවිට අවුරුදු 20ක් පමණ ගතවී ඇත. මීට වසර ගණනකට පෙර මෙම වගුරු බිම වී ගොවිතැන සඳහා යොදාගත් අතර පසුව ලවණ තත්ත්වයක් උද්ගත වීම නිසා ගොවිතැන් කටයුතු කළ නොහැකි තත්ත්වයක් උදාවිය. ටික කලකින් එය කුරුල්ලන් විශාල වශයෙන් ගැවසෙන ප්‍රදේශයක් බවට පත්විය. එහි වසන කුරුලු සම්පතේ වටිනාකම කෙතරම් ද යත් රජය විසින් 1990 දී මෙය කුරුලු අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කළේය. වාර්තාවන්ට අනුව 90 දශකයේ මුල් කාලය වන විට මේ අභය භූමියෙන් හමු වී ඇති පක්ෂි විශේෂ ගණන 168 ක් පමණ වෙයි. ලංකාවේ පක්ෂීන් පිළිබඳ වැදගත් නිරීක්ෂණ රැසකට මේ අභයභූමිය තෝතැන්නක් ව තිබේ. මෙරටට පැමිණෙන සුලබ වැහිලිහිණියා ගේ උප විශේෂයක් වන ʺටයිට්ලර් ගේ වැහිලිහිණියාʺ (Tytler’s Swallow) ලංකාවෙන් ප්‍රථම වරට වාර්තා කරන ලද්දේ බෙල්ලන්විල - අත්තිඩිය අභයභූමියෙනි. බඩවත ප්‍රදේශය රතු - දුඹුරු පැහැයක් ගන්නා මේ වැහිළිහිණියා 1989 වසරේ දී ජගත් ගුණවර්ධන මහතා විසින් වාර්තා කරන ලදී. තව ද මෙවැනි ම දුර්ලභ සංක්‍රමණික පක්ෂියකු වන ʺපලඟැටි හම්බු කුරුල්ලාʺ ද (Pallas’s Grasshopper Warbler) 1991 වසරේ දී වාර්තා කිරීමට ඒ මහතාට හැකි වූයේ මේ ප්‍රදේශයෙනි. විසිවන සියවසේ මේ පක්ෂියා පිළිබඳ ප්‍රථම වාර්තාව ලෙස මෙය සැලැකේ. ඒ වසරේ සිට බෙල්ලන්විල - අත්තිඩිය වගුරු බිමේ බෙරුදියනිල්ල පඳුරු අතරට සංක්‍රමණික සෘතුව එළැඹීමත් සමඟ ම මොවුන් පැමිණෙනු නිරීක්ෂණය කිරීමට හැකි වී ඇත. ලංකාවේ ඉතා දුර්ලභ සංක්‍රමණික පක්ෂියකු ලෙස සැලැකෙන ʺදම් සිලූටු දෑ තුඩුවාʺ (Glossy Ibis) ද මෙහි පැමිණෙන ඉතා සුවිශේෂී සංක්‍රමණික පක්ෂියෙකි. එහෙත් පසුකාලීනව අභයභූමිය ආක්‍රමණික ශාකවලින් වැසී ගිය නිසාත් වගුරු ප්‍රදේශය ගොඩ වී ඇති නිසාත් මොවුන් සංක්‍රමණික සෘතුවේ දී දැක ගත හැකිව ඇත්තේ අභයභූමිය අවට වගුරු බිම්වලින් පමණි.


                     එසේම ʺගිරා මලිත්තාʺ (Lorikeet ), ʺහීන් කොට්ටෝරුවාʺ (Small Barbet), ʺහිස දුඹුරු දෙමලිච්චාʺ (Brown - capped Babbler) යන ආවේණික පක්ෂි විශේෂ තුන ද මෙම අභය භුමිය තුළ දැකගත හැකිව තිබේ. එහෙත් අභයභූමියේ හා ඒ වටා සිදු වන හානිකර ක්‍රියා හේතුවෙන් 2000 වසර පමණ වන විට අධ්‍යයනයන්ට අනුව අභය භූමියෙන් වාර්තා වන පක්ෂි විශේෂ ගණන(ඉඳහිට හමුවන විශේෂ ද ඇතුළත් ව) 88ක් දක්වා පහළ බැස තිබිණි. ඒ අතර ආවේණික විශේෂයක් ලෙස දැකගත හැකි වූයේ ʺහීන් කොට්ටෝරුවාʺ පමණකි. මේ අනුව පෙනී යන්නේ පක්ෂි විශේෂ අතුරෙන් 48%ක් ම මේ ප්‍රදේශයෙන් වාර්තා නොවන බවත්, නේවාසික පක්ෂි විශේෂ අතුරෙන් රාශියක් ප්‍රදේශයෙන් වඳ වී ගොස් ඇති බවත් ය. මීට අමතර ව වගුරු පරිසරයට වැඩි වශයෙන් ඇලූම් කරන ʺකිතලාʺ (Purple Coot), ʺබෙළල් සේරාʺ (Pheasant - tailed Jacana) හා ʺවිල් කුකුළාʺ (Common Moorhen) වැනි පක්ෂීන් අද වන විට අභයභූමි සීමාවේ දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. බොහෝ විට මොවුන් වගුරු ස්වරූපය තවමත් හොඳින් රැඳී ඇති අභය භූමිය අවට පිහිටි දිවුල්පිටිය හා බොරලැස්ගමුව යන වගුරු බිම් ප්‍රදේශයන්ට සීමා වී ඇත. අභයභූමිය තුළින් ගලා බසිනා බොල්ගොඩ ඇළ දූෂණය වීම සෘජුව ම බලපා ඇත්තේ මත්ස්‍යයන්ට හා උභයජීවීන්ට ය. මෙහි ආවේණික විශේෂ 6ක් ඇතුළු ව මත්ස්‍ය විශේෂ 44 ක් වාර්තා වී ඇත. ඊට අමතර ව කලපු ආශ්‍රිත මත්ස්‍ය විශේෂ ද සමහර කාලවල දී මේ ඇළෙන් වරින්වර හමු වී තිබේ. එහෙත් අද තත්ත්වය ඊට හාත්පසින් ම වෙනස් ය. අද වන විට බොල්ගොඩ ඇළෙහි මත්ස්‍ය විශේෂ අතුරෙන් 89% ක්ම වඳ වී ගොස් ඇත. වර්තමානයේ වාර්තා වන දේශීය මත්ස්‍ය විශේෂ ගණන පහ දක්වා විශාල පහළ බැසීමක් සිදු වී ඇත. පසුකාලීනව එහි වාර්තා වන දේශීය මසුන් අතර ʺහුංගාʺ(Heteropnenstes fossilis), ʺකලපු හඳයාʺ (Aplocheilus parvus), ʺකාවයියාʺ (Anabas testudineus) , ʺලූලාʺ (Channa striata) හා ʺමඩ කනයාʺ (Channa punctata) දැකගත හැකි විය. එහෙත් ආක්‍රමණික විදේශීය මත්ස්‍ය විශේෂ වන ʺතිලාපියාʺ (Saratherodon mossambicus), ʺවෙල්ගුරාමිʺ (Trichogaster pectoralis) හා ʺපිදුරු පිසින්නාʺ (Tank Cleaner - Hypostomus plecostomus) යන මසුන් ඉතා බහුල ව බොල්ගොඩ ඇළේ ජීවත්ව ඇත. කර්මාන්තශාලාවන්හි අපද්‍රව්‍ය නිසා ජලය දූෂණය විම හේතුවෙන් දේශීය සංවේදී මත්ස්‍ය විශේෂ වඳ වී යාමත් සමඟ ම ඕනෑ ම පරිසරයකට ඔරොත්තු දීමේ හැකියාව ඇති මේ ආක්‍රමණික මසුන් අධික ව බෝ වී ඇත. ක්‍රමයෙන් දුෂණයට ලක්වූ බොල්ගොඩ ඇළෙහි උභය ජීවි සංඛ්‍යාව පහළ අගයක් ගන්නට විය.

                        මේ අයුරෙන් අභයභූමියේ ජෛව විවිධත්වය සීග්‍රව අඩු වීමට හේතු සාධක බොහොමයක් වෙයි. ʺවෙල් ආත්තාʺ හා ʺබෙරුදියනිල්ලʺ ශාකයෙන් අභයභූමියේ වැඩි තෙත් බිම් ප්‍රමාණයක් මුල්කාලීනව ආක්‍රමණයට ලක් වී තිබුණි. එමෙන්ම අභයභූමිය වටා හා ඒ තුළ බොහෝ ප්‍රදේශ ගොඩකරමින් ජනාවාස හා කර්මාන්තශාලා ව්‍යාප්ත කිරීම නිසා සීග්‍රයෙන් නාගරීකකරණය වී වනජීවී වාසස්ථාන බලපෑමට ලක් ව පවතී. බොල්ගොඩ ඇළ හා අනෙක් ඇළ මාර්ග කර්මාන්තශාලා අපද්‍රව්‍ය නිසා දූෂණය වීම ද, ජලපෘෂ්ඨය ʺජපන් ජබරʺ ශාකයෙන් ආක්‍රමණය වී තිබීම සහ ආක්‍රමණික මත්ස්‍ය විශේෂ බෝවීම ද එකී සාධක ලෙස හැදින්විය හැකි ය. මේ තත්ත්වයන් හමුවේ අභයභූමිය පරිහානියට පත් වෙමින් පැවතුණ ද අද වන විට ද ඉන් අමිල මෙහෙයක් ඉටු වේ. එනම් අවට විශාල ප්‍රදේශයක් ගංවතුර උවදුරෙන් ආරක්ෂා කිරීම යි. බෙල්ලන්විල, අත්තිඩිය, බොරලැස්ගමුව, පැපිලියාන, නැදිමාල, රත්මලාන උතුර, නුගේගොඩ දකුණ හා වේරහැර යන ප්‍රදේශයන්ට ලැබෙන වර්ෂාවේ අතිරික්ත ජලය ගලා එන්නේ මේ ප්‍රදේශයට ය. මේ වගුරු පද්ධතිය අධික ජල කඳ උරා ගනිමින් ප්‍රදේශය ගංවතුර උවදුරෙන් ආරක්ෂා කරයි. මීට අමතර ව භූගත ජල මට්ටම ඉහළ අගයක පවත්වා ගැනීමටත් රොන්මඩ ආදිය රඳවා ගැනීමෙනුත් විශාල මෙහෙයක් මේ වගුරු පද්ධතිය ඉටු කරයි.

                     එහෙත් අභයභූමියේ පිහිටා තිබූ විශාල කැළි කසළ රැඳවුමෙන් ඇහිරී ගිය තෙත්බිම් හා විවිධ ප්‍රදේශයන්හි සිදු වන අඛණ්ඩ මහාපරිමාණ ගොඩකිරීම් හේතුවෙන් මේ වගුරු පද්ධතියට දරා ගත හැකි ජල ප්‍රමාණය සීමා වී ඇත. වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාව මගින් පවත්වාගෙන ගිය විශාල කැළි කසළ රැඳැවුම නිසා අක්කර ගණනාවක් ගොඩ වී තිබුණි. 2001 වසර අවසානයේ දී මෙහි කසළ රැඳවීම තහනම් කළ ද සිදු වූ දැවැන්ත හානිය හානිපූරණය කළ හැකි ක්‍රමයක් ගැන සිතීමටවත් නොහැකි ය. අභයභූමිය වටා පිහිටි කර්මාන්තශාලා පුළුල් කිරීමට පමණක් නොව බෙල්ලන්විල විහාරස්ථානයේ රථ ගාල පුළුල් කිරීමට හා කඩ සාප්පු ඉදිකිරීම සඳහා ද අභයභූමිය වරින් වර ගොඩ කෙරිණ. අද වන විට බොල්ගොඩ ඇළ හා සම්බන්ධ කටු ඇළ ආසන්නය දක්වා ම විශාල භූමි ප්‍රමාණයක් රථ ගාල පුළුල් කිරීම සඳහා බෙල්ලන්විල විහාරස්ථානය ආශ්‍රිත ප්‍රදේශයෙන් ගොඩ කර ඇත.  අභයභූමියේ බොල්ගොඩ ඇළේ දකුණු ඉවුරේ ඇති රත්මලාන - පැපිලියාන මාර්ගය හා පිටවේල්ල පාර සම්බන්ධ කරන අතුරු මාර්ගය හේතුවෙන් අභයභූමියේ ජනාවාස ව්‍යාප්තිය වැඩි වීමට ඉතා හොඳ පෙලැඹවීමක් ලැබී ඇත. මේ මාර්ගය හා සම්බන්ධ අතුරු මාර්ග කිහිපයක් තෙත්බිම කරා යොමු කර ඒ ආශ්‍රිත ප්‍රදේශ විශාල වශයෙන් ගොඩ කර ජනාවාස ව්‍යාප්ත කර තිබේ. තවත් ජනාවාස වැඩි ප්‍රමාණයක් අභය භූමියේ බටහිර මායිමේ විහිදී ඇති හරමානිස් පාරේ සිට තෙත් බිම අභ්‍යන්තරයට ව්‍යාප්ත වෙමින් පවතී. මේ ආකාරයට ගොඩකරමින් පවතින අභයභූමියේ බටහිර ප්‍රදේශයේ තෙත්බිම් සම්පූර්ණයෙන් ම පාහේ නිවාසවලින් වැසී ගොස් ඇත. 


                     අභය භුමිය සම්බන්ධ මෑත කාලීන සිදුවීම වන්නේ 2014 සැපතැම්බර් මාසයේ  බෙල්ලන්විල වේරැස් ගඟ ව්‍යාපෘතිය යටතේ මෙම අත්තිඩිය බෙල්ලන්විල වගුරුබිම උද්‍යානයක් ලෙස  ජනතා අයිතියට පත්කිරීමයි. ඒ අනුව වගුරු බිමේ  බිම්කඩක් මුළුමනින්ම පාහේ උද්‍යානය සඳහා වෙන් කර ඇති අතර එක් පසෙක පමණක් වගුරු බිම දැකගත හැකි වේ. මේ හේතුවෙන් වගුරුබිමේ ඉදහිට හෝ ගැවසෙන පක්ෂීන්ගේ ශීඝ්‍ර අඩුවීමක් දක්නට ලැබේ. උද්‍යානයට පැමිණෙන රථවාහනයන්හි අධික තදබදයත්, දුමාරයත්, නලා ශබ්දයත් ඊට හේතු වී තිබේ. ඔබට පළමු රූපය මගින් දිස්වනුයේ වගුරුබිමෙහි එක් පැතිකඩක් ගොඩකර සාදා ඇති බෙල්ලන්විල අත්තිඩිය උද්‍යානයයි.  දෙවන රූපය මගින් දක්නට ලැබෙන්නේ මාර්ගයේ අනෙක් පස ඇති වගුරුබිමයි.


                                   රූප මගින් දක්වා ඇති උද්‍යානයේ අභ්‍යන්තර ඡායාරූප පහත පරිදි දැක්විය හැක. මෙම උද්‍යානය ඇවිදීමේ මංතීරුවක්, ආහාර කුටි සහ විවේකිව කතා බහ කිරීම සඳහා ගල් බංකු ආදියෙන් සමන්විතය. අභයභූමියට ඉතා ආසන්නයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ
කාර්යාලය පිහිටා ඇති මුත් මෙතෙක් අභය භූමියට සිදු වූ දැවැන්ත පරිසර හානි පිළිබඳව කිසිදු පියවරක් ගෙන නොමැත. වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව අභයභූමියක සිදු වන හානිකර ක්‍රියා නතර කිරීමට ඇති බලතල නිසි ලෙස ක්‍රියාවට නැංවීම මගින් මෙහි සිදු වන සියලූ අනර්ථකාරී ක්‍රියා නතර කිරීමේ හැකියාව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ව ඇත. ඊට අමතර ව තෙත්බිම් පරිසර ආරක්ෂා කිරීමට ජාතික පාරිසරික පනතට අනුව මධ්‍යම පරිසර අධිකාරියට ද නෛතික හැකියාව ඇත. එසේ තිබියදීත් අභයභූමිය විනාශ කිරීමට ඉඩ දී බලා සිටීම කනගාටුවට කරුණකි. දැනට සිදු කර අති අධ්‍යයනයන්ට අනුව පෙනී ගොස් ඇත්තේ හානිකර ක්‍රියා ගණනාවකට ගොදුරු වී ඇති බෙල්ලන්විල - අත්තිඩිය අභයභූමියේ ජෛව විවිධත්වය දැවැන්ත පරිහානියකට ලක් වී ඇතත් ඊට පිටතින් පිහිටි බොරලැස්ගමුව හා දිවුල්පිටිය යන වගුරු ප්‍රදේශ තවමත් සැලකිය යුතු ජෛව විවධත්වයක් දරා සිටින බව ය. අභයභූමිය ආසන්නයේ පිහිටා ඇති මේ වගුරුබිම් දෙක ද බෙල්ලන්විල - අත්තිඩිය අභයභූමියට ඈඳාගෙන ඒ වගුරු පද්ධතියට ම නෛතික ආරක්ෂාව ලබා දීම අද වන විට අත්‍යවශ්‍ය වී ඇත. එපමණක් නොව අදාළ නීති රිති ක්‍රියාත්මක කිරීමෙන් වගුරු බිම් පද්ධතිය ආරක්ෂා කරගත යුතු වේ. මෙයට සමගාමීව මෙවන් පරිසර පද්ධතීන්හි වැදගත්කම ඉන් මිනිස් සහ සත්ත්ව ජීවී රටාවන්ට ලැබෙන පිටුවහල හා  ඉන් බැහැරවීම තුළින් ලැබෙන අනිසි පලවිපාක පිලිබඳ ඉදිරි පරපුර දැනුවත් කිරීමද මෙහිලා ඉතා වැදගත් පියවරක් වේ. වනජීවී අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යංශය අනුබද්ධව කරනු ලබන පාසල් හා විශ්ව විද්‍යාල දැනුවත්කිරීමේ වැඩසටහන් සහ මාධ්‍ය තුලින් සිදුකරන ප්‍රචාරණමය කටයුතු මේ සඳහා මහඟු පිටුවහලක්වනු නොඅනුමානය.



            අතිශය ජනාකීර්ණ කොන්ක්‍රීට් වනාන්තරයක් වැනි කාර්මිකරණයට ලක්වූ ප්‍රදේශයක් තුළ ස්වාභාවිකවම පිහිටනු ලැබූ සම්පතක් වන මෙතරම් සොඳුරු වූ හරිත ලොවක සිටින අප, කෘත්‍රීම පරිසරයක් නිර්මාණය කිරීමෙන් එහි ආශ්වාද ලබන්නෙමු. එපමණක් නොව එහි ඇති අවශ්‍යතාවයද විවේචනය කරන්නෙමු. නමුදු කිසිදු විටෙක ස්වභාවික පරිසරය හා සැසඳීමට සුදුසු තවත් ගිමන්හලක් නැත්තේමය. ඇත්තේ ජරාජීර්ණ වූ වාතලයක් පමණි. විඩාපත් මනස නිරතුරුවම සුවපත් කළහැකි නිසල වනපියසක අසිරිය අප හට වඩවඩාත් දැනෙනුයේ එය අපට අහිමිවී ගිය පසුය. එනිසාවෙන් අපට සොබාදහම් මාතාව විසින් දායාද කර ඇති මේ වටිනා සම්පත ආරක්ෂා කරගැනීම සහ එයට ආදරය කිරීම අප සතු යුතුකමකි.







Tuesday, April 30, 2019

දේශීය ශාන්තිකර්ම හා බැඳී සන්නිවේදනාර්ථ

                                 ශ්‍රී ලංකාවේ ගැමි ජන මානවයා අතර පවතින සුවිශේෂ ප්‍රජාකරණ විශේෂයක් ලෙස ශාන්තිකර්ම නම් කල හැක. ප්‍රාථමික ගැමි ජන සමාජයේ ව්‍යාප්තව පවතින මෙම ශාන්තිකර්ම සඳහා මිනිසුන් එක්රොක් වූයේ තම ජිවිතයට එල්ලවන අයහපත් තත්ත්වය පහකොට යහපතක් ලබාගැනීම උදෙසාය. "ශාන්තියක්" යනු සෙතක්, යහපතක්, ආශීර්වාදයක් උදෙසා කරනු ලබන ක්‍රියාවකි. දෙවියන්, යකුන්, නව ග්‍රහයින්, අදෘශ්‍යමාන බලවේගයන්ගෙන් වැදී පැමිණෙන්නා වූ අපල උපද්‍රව පහ කරගැනීමට, අකල් මරණ,ආරවුල් අවම කරගැනීමට, ලෙඩරෝග සුවකර ගැනීමට යන කාරණාවන් උදෙසා ප්‍රාථමික අවධියේ ශාන්තිකර්ම පවත්වා ඇත. මේ අනුව දෙවියන්, යකුන්, නව ග්‍රහයින් මුල්කර ගනිමින් ශාන්තිකර්ම පවත්වනු ලබයි. ශාන්තිකර්මවල සිදුවනුයේ මානසික පීඩනයෙන් මුදවාගෙන ඔහු ප්‍රකෘති තත්ත්වයට පත්කිරීමයි. එහිදී ඖෂධිය ප්‍රතිකාරවලට වඩා රෝගියාගේ සිත් සතුටු කරවන සෞන්දර්යාත්මක රසවින්දනයක් ලබාදීම පුදපුජාවන් හා නර්තන ගායන අංග මගින් සිදු කරනු ලබයි. 

                            කොහොඹා කංකාරිය, පහන් මඩුව, දෙවොල් මඩුව, බලි යාගය ආදී ශාන්තිකර්ම ගණනාවක් මගින් මානසික රෝග සුවකිරීම හා යහපත ලබා ගැනීම සිදු කරනු ලබයි. රෝග සුවකිරීමට යක්තොවිල් බොහෝවිට පැවැත්වුවද සෑම ශාන්තිකර්මයක් හරහාම කිසියම් වූ යහපතක් උදා කරදීම මුලික අරමුණ වේ. එහිදී,
  • යටිසිත විමසා බැලීම
  • රෝගියා තුළ ධනාත්මක සිතුවිලි තහවුරු කිරීම
  • අනුකරණාත්මක හා ප්‍රදර්ශන ඇසුරින් කරන මනෝ චිකිත්සක ක්‍රම
  • කායික,මානසික වත්පිළිවෙත් සඳහා යොමුකරවීම

ආදී කරුණු මගින් රෝග සුවකිරීම සිදු කරයි. එසේම එම ක්‍රමවල විශේෂවූ සන්නිවේදනාර්ථයන් ගැබ්ව තිබේ. නිදසුනක් ලෙස පහතරට දහඅට සන්නිය ශාන්තිකර්මය භූත, අමුක්කු, බීරි, වාත, ජල, ගුල්ම ආදී සන්නි දහ අටකින් යුක්ත වන අතර යකැදුරා, ආතුරයා ඉදිරියට පැමිණ ඇතිවී තිබෙන රෝගයත්, එම රෝගය සිරුරෙන් බැහැර කිරීමට නම් එම යකුන්ට පිදේනි අවශ්‍ය බවත්, පිදේනි පුජා කිරීමෙන් පසු යක්ෂයා පිටවීමත් රඟදක්වා පෙන්වයි.මෙලෙස අවසානයේ ආතුර සිරුරෙන් යක්ෂයා පිටවීම තුලින් ආතුරයාගේ සියලු රෝගාබාධ සුවවන බවත් විශ්වාස කරයි. එසේම රිද්දි යාගය ශාන්තිකර්මය පවත්වනු ලබන්නේ දරුවන් නොමැතිකමින් දුකට පත් කාන්තාවන්ට සහ දරුගැබ සහිත කාන්තාවන්ට ආරක්ෂාව පිණිසය. මාතෘත්වයට සැරසෙන ආකාරය සහ එතැන්පටන් තමන්ට මවක් වීමේ හැකියාව ඇති බව එම චාරිත්‍ර වාරිත්‍ර මගින් සන්නිවේදනය කරනු ලබයි. 

නිදසුන්: 
නානුමුර මංගල්‍යය- දීපංකර බුදුන්ට නොඉදුල් සළුව වියිම සඳහා පවිත්‍ර වියයුතු බව දක්වයි. ඉන් දරුවන් ලැබීමට නම් පවිත්‍රත්වය සපුරාගත යුතු බව සංකේතවත් කරයි.

කපුයක්කාරිය- සළුව වියිමට අවශ්‍ය කප සිටුවීම, පොළව හෑම, කපු බිජ ඉසීම ආදිය සිදු කරයි. මෙමගින් දරුවෙකු ලැබීම සඳහා ලිංගික කාර්යයේ යෙදිය යුතු බව සංකේතවත් වේ.

                                ශාන්තිකර්මයන්හි බුදුගුණ ගායනාවලට අමතරව ත්‍රිවිධ රත්නයේ ගුණ ද නිරන්තර ගායනා කරනු ලබයි. එමගින් යකුන් පවා බුදුන්ගේ අණට කීකරු වන බව විශ්වාස කෙරේ. විශාලා මහනුවර තුන්බිය දුරුකිරීම සඳහා මෙය කදිම නිදසුනකි.

අහසට බුදුරැස් කදක් මවා             ලා
පොළොවට බුදුරැස් කඳක් මවා     ලා 
යකුගිය ඇත මං බිඳවා                 ලා
මුනිරජු වැඩියයි පිරිත් දෙසා         ලා

මෙවැනි කවි ගායනා කිරීම මගින් බුදුන්ගේ ආරක්ෂාවද රෝගියාට තිබෙන බව සන්නිවේදනය වේ. මීට අමතරව ශාන්තිකර්ම අතරතුර සිදුවන බෙර වාදනයන් මගින්ද අධික කම්පන ශක්තියක් ජනිත කරවයි. මගුල් බෙර, අත්‍යා බෙර වාදනයන් මීට නිදසුන්ය. මන්ත්‍ර ජපකිරිම, යාදිනි, සන්න, සැහැලි, අෂ්ඨක ආදී සෑම ගායනාවක් සඳහාම වෙන්වූ නාද රටාවක් පැවතිණ. මෙමගින් කිසියම්වූ සංගීත චිකිත්සාවක් ලබාදීම සිදු කරයි. නිදසුනක් ලෙස නානුමුරය හා කපුයක්කාරිය යන රංග අවස්ථාවන්හි යොදාගනු ලබන බෙර පද හා ගායනා මගින් සන්නිවේදනය වනු ලබන්නේ වඳ ස්ත්‍රීන් කපුපිළි වියා දීපංකර බුදුන්ට සළුව පුජාකළ පිනෙන් දරු සම්පත් ලැබූ බවයි. මේ නිසා සංගීත චිකිත්සාව ශාන්තිකර්මයන්හි රෝග නිවාරණය සඳහා බෙහෙවින් ඉවහල් වනු ඇත. 

                              බලි යාගය නවග්‍රහ අපල දුරු කිරීමට පවත්වනු ලබන ශාන්තිකර්මයකි. මෙහිදී අදාළ රෝගියාගේ රෝගයට සරිලන බලියක් ඇඹීම සිදු කරයි. මැටි බලි, මල් බලි, වතුර බලි ආදී විවිධ බලි වර්ග ඇති අතර අදාළ බලිය ග්‍රහයින් හා දෙවියන්ට පුජකිරීමෙන් එම අපලය/රෝගය පහව යනබව විශ්වාස කෙරේ. යකැදුරාගේ අතෙහි ඇති අත්මිණිය සෙලවීම මගින් ග්‍රහදොස් පහකර ආශීර්වාද ලැබෙන බව සන්නිවේදනය වේ. එමෙන්ම ශාන්තිකර්මවල ඇති ස්වභාවික ඖෂධ හාවිතය පිළිබඳව ද විමසීම වැදගත්ය. ඖෂධීය කොළ, මුල්, පොතු, මල් මෙන්ම කෙසෙල් වලු, තැඹිලි, පොල් ආදිය යාග මඩලේ එල්ලීම මගින් මානසික සුවතාව හා ලෙඩරෝග සුවකිරීම සඳහා ශාන්තිකර්මය ඖෂධයක් වන බව සන්නිවේදනය කරයි. ඊට අමතරව සශ්‍රිකත්වයද සංකේතවත් කරනු ලබයි. පහත කවියෙන් ඒ පිළිබඳව මනාව පැහැදිලි වේ. 

තැඹිලි නවසි බෝදිලි තල් පොල් ව     ලූ
කදිලි වලුත් සුවදැල් රඹ කැන් ව         ලූ
තැඹිලි වලුත් ගෙන මාරුක් මල් ව       ලූ
එකලී ලෙසට දෙන ලෙස සැරසූව       ලූ 

තවද පුනා මඩුව ශාන්තිකර්මය අවසානයේදී පුනාව රැගෙන ගොස් දියේ සිටින ගොනෙකුගේ හිසෙහි ගසා විනාශ කර දැමීම මගින්ද සියලු දෝශ දුරුවූ බව සියලු දෙනා හට සන්නිවේදනය කරනු ලබයි. උඩරට ශාන්තිකර්මයක් වන කඩවර කංකාරියේ සමාගම් නූල පැළඳවීම චාරිත්‍රය මගින් දරුපල ලබාදීම සිදුකරයි. කඩවර යක්ෂයා විසින් සිදු කරන බීය වැද්දීම් හා ගබ්සා කිරීම් ආදිය පහව යාම සඳහා මෙම නූල පළඳවනු ලබයි. මෙලෙස විවිධ චාරිත්‍ර හරහා ශාන්තිකර්ම ඔස්සේ පුද්ගල අපල උපද්‍රව දුරුකිරීමට හැකියාව ලැබී ඇති බව මනාව පැහැදිලි වනු ඇත. මෙවැනි විවිධ සාම්ප්‍රධායික චාරිත්‍ර ක්‍රමයන් ඔස්සේ අතීත ජනයා ශාන්තිකර්ම පවත්වා ඇති අතර එම මනෝචිකිත්සක ක්‍රමවේදයන් හා බැඳී සන්නිවේදනාර්ථ මෙසේ පෙන්වා දිය හැක.


(ග්‍රන්ථ පරිශීලනය ඇසුරිනි)