සෑම ජීවී කොටසක්ම අන්‍යෝන්‍ය වශයෙන් ඔවුනොවුන්ගෙන් පරිසරය සමග බැඳී සිටින අතර පරිසරය සියලුම ජීවී කොටස් සමග බැඳී සිටියි. නමුත් දිගුකාලීනව මිනිස් වර්ගයා විසින් ස්වභාවික පරිසර පද්ධතීන්හි කරනු ලබන විවිධාකාර ක්‍රියාකාරකම් තුලින් තම ජිවන මට්ටම්, පහසු හා සුඛෝපභෝගී තලයන්ට ගෙනඒමට නොනවතින ගමනක යෙදෙමින් සිටි. මෙහිදී අත්තනෝමතිකව පාලනයකින් හෝ සංයමයකින් තොරව පරිසරය හා ජිවින් අතර පවතින අන්‍යෝන්‍ය බැදීම් සහ ඒ අතර ඇති ස්වභාවික තුලනය පිලිබඳ හැගීම් විරහිතව ක්‍රියා කිරීමට මිනිසා පෙළඹී ඇත. මිනිසා වසර දහස් ගණනාවක් මුළුල්ලේ තම ප්‍රයෝජනය උදෙසා නිවාස, මංමාවත්, උද්‍යාන ගොඩනගමින් හා ස්වභාවික ඵල වැල හා අස්වැනු නෙලාගනිමින් ද පරිසරයෙන් ප්‍රයෝජන ලැබීය. එහෙත් ඒ අතරතුර අවාසනාවන්ත ලෙස, අප වැව් හා දිය පහරවල් දූෂිත තත්ත්වයට පත් කරමින් ජනපද හා කෘෂිකර්මයට ඉඩ සැලසීම සඳහා වනාන්තර එළිපෙහෙළි කර ඇත. එමෙන්ම අපගේ සාම්ප්‍රදායික ශාක හා භෝග විශේෂයන් වෙනුවට නවීන සහ ආගන්තුක විශේෂයන් යොදා ගෙන තිබේ. මෙම පරිසර විනාශයත් සමගම පරිසරය මගින් මිනිස් ජිවිත කෙරෙහිද බලපෑම ඇති කරනු ලබයි.
අසූව දශකය වන විට ජෛව විවිධත්වයෙන් ඉතා පොහොසත් ප්‍රදේශයක් ලෙස බෙල්ලන්විල - අත්තිඩිය ප්‍රචලිත වූයේ සංක්‍රමණික පක්ෂි විශේෂ රාශියක ගේ ලැඟුම් පොළක් මෙන් ම ගොදුරුබිමක් වීම නිසා ය. මේ තත්ත්වය හේතුවෙන් 1980 වර්ෂයේ දී නාගරික සංවර්ධන අධිකාරිය විසින් අධ්‍යාපනික හා සංරක්ෂණ කලාපයක් ලෙස බෙල්ලන්විල - අත්තිඩිය ප්‍රකාශයට පත් කරන ලදි. ඉන් පසු තෙත්බිම් සුරැකීම පිළිබඳ අන්තර් ජාතික රැම්සා ප්‍රඥප්තියට අනුව 1989 දී ආසියාවේ වැදගත් තෙත් බිම් 947කින් යුත් නාමාවලියට බෙල්ලන්විල - අත්තිඩිය වගුරු බිම ද එක් කෙරිණි. බෙල්ලන්විල අත්තිඩිය කුරුලූ අභය භූමිය පිළිබඳව අවධානය යොමුකර මේ වනවිට අවුරුදු 20ක් පමණ ගතවී ඇත. මීට වසර ගණනකට පෙර මෙම වගුරු බිම වී ගොවිතැන සඳහා යොදාගත් අතර පසුව ලවණ තත්ත්වයක් උද්ගත වීම නිසා ගොවිතැන් කටයුතු කළ නොහැකි තත්ත්වයක් උදාවිය. ටික කලකින් එය කුරුල්ලන් විශාල වශයෙන් ගැවසෙන ප්‍රදේශයක් බවට පත්විය. එහි වසන කුරුලු සම්පතේ වටිනාකම කෙතරම් ද යත් රජය විසින් 1990 දී මෙය කුරුලු අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කළේය. වාර්තාවන්ට අනුව 90 දශකයේ මුල් කාලය වන විට මේ අභය භූමියෙන් හමු වී ඇති පක්ෂි විශේෂ ගණන 168 ක් පමණ වෙයි. ලංකාවේ පක්ෂීන් පිළිබඳ වැදගත් නිරීක්ෂණ රැසකට මේ අභයභූමිය තෝතැන්නක් ව තිබේ. මෙරටට පැමිණෙන සුලබ වැහිලිහිණියා ගේ උප විශේෂයක් වන ʺටයිට්ලර් ගේ වැහිලිහිණියාʺ (Tytler’s Swallow) ලංකාවෙන් ප්‍රථම වරට වාර්තා කරන ලද්දේ බෙල්ලන්විල - අත්තිඩිය අභයභූමියෙනි. බඩවත ප්‍රදේශය රතු - දුඹුරු පැහැයක් ගන්නා මේ වැහිළිහිණියා 1989 වසරේ දී ජගත් ගුණවර්ධන මහතා විසින් වාර්තා කරන ලදී. තව ද මෙවැනි ම දුර්ලභ සංක්‍රමණික පක්ෂියකු වන ʺපලඟැටි හම්බු කුරුල්ලාʺ ද (Pallas’s Grasshopper Warbler) 1991 වසරේ දී වාර්තා කිරීමට ඒ මහතාට හැකි වූයේ මේ ප්‍රදේශයෙනි. විසිවන සියවසේ මේ පක්ෂියා පිළිබඳ ප්‍රථම වාර්තාව ලෙස මෙය සැලැකේ. ඒ වසරේ සිට බෙල්ලන්විල - අත්තිඩිය වගුරු බිමේ බෙරුදියනිල්ල පඳුරු අතරට සංක්‍රමණික සෘතුව එළැඹීමත් සමඟ ම මොවුන් පැමිණෙනු නිරීක්ෂණය කිරීමට හැකි වී ඇත. ලංකාවේ ඉතා දුර්ලභ සංක්‍රමණික පක්ෂියකු ලෙස සැලැකෙන ʺදම් සිලූටු දෑ තුඩුවාʺ (Glossy Ibis) ද මෙහි පැමිණෙන ඉතා සුවිශේෂී සංක්‍රමණික පක්ෂියෙකි. එහෙත් පසුකාලීනව අභයභූමිය ආක්‍රමණික ශාකවලින් වැසී ගිය නිසාත් වගුරු ප්‍රදේශය ගොඩ වී ඇති නිසාත් මොවුන් සංක්‍රමණික සෘතුවේ දී දැක ගත හැකිව ඇත්තේ අභයභූමිය අවට වගුරු බිම්වලින් පමණි.
එසේම ʺගිරා මලිත්තාʺ (Lorikeet ), ʺහීන් කොට්ටෝරුවාʺ (Small Barbet), ʺහිස දුඹුරු දෙමලිච්චාʺ (Brown - capped Babbler) යන ආවේණික පක්ෂි විශේෂ තුන ද මෙම අභය භුමිය තුළ දැකගත හැකිව තිබේ. එහෙත් අභයභූමියේ හා ඒ වටා සිදු වන හානිකර ක්‍රියා හේතුවෙන් 2000 වසර පමණ වන විට අධ්‍යයනයන්ට අනුව අභය භූමියෙන් වාර්තා වන පක්ෂි විශේෂ ගණන(ඉඳහිට හමුවන විශේෂ ද ඇතුළත් ව) 88ක් දක්වා පහළ බැස තිබිණි. ඒ අතර ආවේණික විශේෂයක් ලෙස දැකගත හැකි වූයේ ʺහීන් කොට්ටෝරුවාʺ පමණකි. මේ අනුව පෙනී යන්නේ පක්ෂි විශේෂ අතුරෙන් 48%ක් ම මේ ප්‍රදේශයෙන් වාර්තා නොවන බවත්, නේවාසික පක්ෂි විශේෂ අතුරෙන් රාශියක් ප්‍රදේශයෙන් වඳ වී ගොස් ඇති බවත් ය. මීට අමතර ව වගුරු පරිසරයට වැඩි වශයෙන් ඇලූම් කරන ʺකිතලාʺ (Purple Coot), ʺබෙළල් සේරාʺ (Pheasant - tailed Jacana) හා ʺවිල් කුකුළාʺ (Common Moorhen) වැනි පක්ෂීන් අද වන විට අභයභූමි සීමාවේ දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. බොහෝ විට මොවුන් වගුරු ස්වරූපය තවමත් හොඳින් රැඳී ඇති අභය භූමිය අවට පිහිටි දිවුල්පිටිය හා බොරලැස්ගමුව යන වගුරු බිම් ප්‍රදේශයන්ට සීමා වී ඇත. අභයභූමිය තුළින් ගලා බසිනා බොල්ගොඩ ඇළ දූෂණය වීම සෘජුව ම බලපා ඇත්තේ මත්ස්‍යයන්ට හා උභයජීවීන්ට ය. මෙහි ආවේණික විශේෂ 6ක් ඇතුළු ව මත්ස්‍ය විශේෂ 44 ක් වාර්තා වී ඇත. ඊට අමතර ව කලපු ආශ්‍රිත මත්ස්‍ය විශේෂ ද සමහර කාලවල දී මේ ඇළෙන් වරින්වර හමු වී තිබේ. එහෙත් අද තත්ත්වය ඊට හාත්පසින් ම වෙනස් ය. අද වන විට බොල්ගොඩ ඇළෙහි මත්ස්‍ය විශේෂ අතුරෙන් 89% ක්ම වඳ වී ගොස් ඇත. වර්තමානයේ වාර්තා වන දේශීය මත්ස්‍ය විශේෂ ගණන පහ දක්වා විශාල පහළ බැසීමක් සිදු වී ඇත. පසුකාලීනව එහි වාර්තා වන දේශීය මසුන් අතර ʺහුංගාʺ(Heteropnenstes fossilis), ʺකලපු හඳයාʺ (Aplocheilus parvus), ʺකාවයියාʺ (Anabas testudineus) , ʺලූලාʺ (Channa striata) හා ʺමඩ කනයාʺ (Channa punctata) දැකගත හැකි විය. එහෙත් ආක්‍රමණික විදේශීය මත්ස්‍ය විශේෂ වන ʺතිලාපියාʺ (Saratherodon mossambicus), ʺවෙල්ගුරාමිʺ (Trichogaster pectoralis) හා ʺපිදුරු පිසින්නාʺ (Tank Cleaner - Hypostomus plecostomus) යන මසුන් ඉතා බහුල ව බොල්ගොඩ ඇළේ ජීවත්ව ඇත. කර්මාන්තශාලාවන්හි අපද්‍රව්‍ය නිසා ජලය දූෂණය විම හේතුවෙන් දේශීය සංවේදී මත්ස්‍ය විශේෂ වඳ වී යාමත් සමඟ ම ඕනෑ ම පරිසරයකට ඔරොත්තු දීමේ හැකියාව ඇති මේ ආක්‍රමණික මසුන් අධික ව බෝ වී ඇත. ක්‍රමයෙන් දුෂණයට ලක්වූ බොල්ගොඩ ඇළෙහි උභය ජීවි සංඛ්‍යාව පහළ අගයක් ගන්නට විය.
මේ අයුරෙන් අභයභූමියේ ජෛව විවිධත්වය සීග්‍රව අඩු වීමට හේතු සාධක බොහොමයක් වෙයි. ʺවෙල් ආත්තාʺ හා ʺබෙරුදියනිල්ලʺ ශාකයෙන් අභයභූමියේ වැඩි තෙත් බිම් ප්‍රමාණයක් මුල්කාලීනව ආක්‍රමණයට ලක් වී තිබුණි. එමෙන්ම අභයභූමිය වටා හා ඒ තුළ බොහෝ ප්‍රදේශ ගොඩකරමින් ජනාවාස හා කර්මාන්තශාලා ව්‍යාප්ත කිරීම නිසා සීග්‍රයෙන් නාගරීකකරණය වී වනජීවී වාසස්ථාන බලපෑමට ලක් ව පවතී. බොල්ගොඩ ඇළ හා අනෙක් ඇළ මාර්ග කර්මාන්තශාලා අපද්‍රව්‍ය නිසා දූෂණය වීම ද, ජලපෘෂ්ඨය ʺජපන් ජබරʺ ශාකයෙන් ආක්‍රමණය වී තිබීම සහ ආක්‍රමණික මත්ස්‍ය විශේෂ බෝවීම ද එකී සාධක ලෙස හැදින්විය හැකි ය. මේ තත්ත්වයන් හමුවේ අභයභූමිය පරිහානියට පත් වෙමින් පැවතුණ ද අද වන විට ද ඉන් අමිල මෙහෙයක් ඉටු වේ. එනම් අවට විශාල ප්‍රදේශයක් ගංවතුර උවදුරෙන් ආරක්ෂා කිරීම යි. බෙල්ලන්විල, අත්තිඩිය, බොරලැස්ගමුව, පැපිලියාන, නැදිමාල, රත්මලාන උතුර, නුගේගොඩ දකුණ හා වේරහැර යන ප්‍රදේශයන්ට ලැබෙන වර්ෂාවේ අතිරික්ත ජලය ගලා එන්නේ මේ ප්‍රදේශයට ය. මේ වගුරු පද්ධතිය අධික ජල කඳ උරා ගනිමින් ප්‍රදේශය ගංවතුර උවදුරෙන් ආරක්ෂා කරයි. මීට අමතර ව භූගත ජල මට්ටම ඉහළ අගයක පවත්වා ගැනීමටත් රොන්මඩ ආදිය රඳවා ගැනීමෙනුත් විශාල මෙහෙයක් මේ වගුරු පද්ධතිය ඉටු කරයි.
එහෙත් අභයභූමියේ පිහිටා තිබූ විශාල කැළි කසළ රැඳවුමෙන් ඇහිරී ගිය තෙත්බිම් හා විවිධ ප්‍රදේශයන්හි සිදු වන අඛණ්ඩ මහාපරිමාණ ගොඩකිරීම් හේතුවෙන් මේ වගුරු පද්ධතියට දරා ගත හැකි ජල ප්‍රමාණය සීමා වී ඇත. වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාව මගින් පවත්වාගෙන ගිය විශාල කැළි කසළ රැඳැවුම නිසා අක්කර ගණනාවක් ගොඩ වී තිබුණි. 2001 වසර අවසානයේ දී මෙහි කසළ රැඳවීම තහනම් කළ ද සිදු වූ දැවැන්ත හානිය හානිපූරණය කළ හැකි ක්‍රමයක් ගැන සිතීමටවත් නොහැකි ය. අභයභූමිය වටා පිහිටි කර්මාන්තශාලා පුළුල් කිරීමට පමණක් නොව බෙල්ලන්විල විහාරස්ථානයේ රථ ගාල පුළුල් කිරීමට හා කඩ සාප්පු ඉදිකිරීම සඳහා ද අභයභූමිය වරින් වර ගොඩ කෙරිණ. අද වන විට බොල්ගොඩ ඇළ හා සම්බන්ධ කටු ඇළ ආසන්නය දක්වා ම විශාල භූමි ප්‍රමාණයක් රථ ගාල පුළුල් කිරීම සඳහා බෙල්ලන්විල විහාරස්ථානය ආශ්‍රිත ප්‍රදේශයෙන් ගොඩ කර ඇත. අභයභූමියේ බොල්ගොඩ ඇළේ දකුණු ඉවුරේ ඇති රත්මලාන - පැපිලියාන මාර්ගය හා පිටවේල්ල පාර සම්බන්ධ කරන අතුරු මාර්ගය හේතුවෙන් අභයභූමියේ ජනාවාස ව්‍යාප්තිය වැඩි වීමට ඉතා හොඳ පෙලැඹවීමක් ලැබී ඇත. මේ මාර්ගය හා සම්බන්ධ අතුරු මාර්ග කිහිපයක් තෙත්බිම කරා යොමු කර ඒ ආශ්‍රිත ප්‍රදේශ විශාල වශයෙන් ගොඩ කර ජනාවාස ව්‍යාප්ත කර තිබේ. තවත් ජනාවාස වැඩි ප්‍රමාණයක් අභය භූමියේ බටහිර මායිමේ විහිදී ඇති හරමානිස් පාරේ සිට තෙත් බිම අභ්‍යන්තරයට ව්‍යාප්ත වෙමින් පවතී. මේ ආකාරයට ගොඩකරමින් පවතින අභයභූමියේ බටහිර ප්‍රදේශයේ තෙත්බිම් සම්පූර්ණයෙන් ම පාහේ නිවාසවලින් වැසී ගොස් ඇත.
අභය භුමිය සම්බන්ධ මෑත කාලීන සිදුවීම වන්නේ 2014 සැපතැම්බර් මාසයේ බෙල්ලන්විල වේරැස් ගඟ ව්‍යාපෘතිය යටතේ මෙම අත්තිඩිය බෙල්ලන්විල වගුරුබිම උද්‍යානයක් ලෙස ජනතා අයිතියට පත්කිරීමයි. ඒ අනුව වගුරු බිමේ බිම්කඩක් මුළුමනින්ම පාහේ උද්‍යානය සඳහා වෙන් කර ඇති අතර එක් පසෙක පමණක් වගුරු බිම දැකගත හැකි වේ. මේ හේතුවෙන් වගුරුබිමේ ඉදහිට හෝ ගැවසෙන පක්ෂීන්ගේ ශීඝ්‍ර අඩුවීමක් දක්නට ලැබේ. උද්‍යානයට පැමිණෙන රථවාහනයන්හි අධික තදබදයත්, දුමාරයත්, නලා ශබ්දයත් ඊට හේතු වී තිබේ. ඔබට පළමු රූපය මගින් දිස්වනුයේ වගුරුබිමෙහි එක් පැතිකඩක් ගොඩකර සාදා ඇති බෙල්ලන්විල අත්තිඩිය උද්‍යානයයි. දෙවන රූපය මගින් දක්නට ලැබෙන්නේ මාර්ගයේ අනෙක් පස ඇති වගුරුබිමයි.
රූප මගින් දක්වා ඇති උද්‍යානයේ අභ්‍යන්තර ඡායාරූප පහත පරිදි දැක්විය හැක. මෙම උද්‍යානය ඇවිදීමේ මංතීරුවක්, ආහාර කුටි සහ විවේකිව කතා බහ කිරීම සඳහා ගල් බංකු ආදියෙන් සමන්විතය. අභයභූමියට ඉතා ආසන්නයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ
කාර්යාලය පිහිටා ඇති මුත් මෙතෙක් අභය භූමියට සිදු වූ දැවැන්ත පරිසර හානි පිළිබඳව කිසිදු පියවරක් ගෙන නොමැත. වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව අභයභූමියක සිදු වන හානිකර ක්‍රියා නතර කිරීමට ඇති බලතල නිසි ලෙස ක්‍රියාවට නැංවීම මගින් මෙහි සිදු වන සියලූ අනර්ථකාරී ක්‍රියා නතර කිරීමේ හැකියාව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ව ඇත. ඊට අමතර ව තෙත්බිම් පරිසර ආරක්ෂා කිරීමට ජාතික පාරිසරික පනතට අනුව මධ්‍යම පරිසර අධිකාරියට ද නෛතික හැකියාව ඇත. එසේ තිබියදීත් අභයභූමිය විනාශ කිරීමට ඉඩ දී බලා සිටීම කනගාටුවට කරුණකි. දැනට සිදු කර අති අධ්‍යයනයන්ට අනුව පෙනී ගොස් ඇත්තේ හානිකර ක්‍රියා ගණනාවකට ගොදුරු වී ඇති බෙල්ලන්විල - අත්තිඩිය අභයභූමියේ ජෛව විවිධත්වය දැවැන්ත පරිහානියකට ලක් වී ඇතත් ඊට පිටතින් පිහිටි බොරලැස්ගමුව හා දිවුල්පිටිය යන වගුරු ප්‍රදේශ තවමත් සැලකිය යුතු ජෛව විවධත්වයක් දරා සිටින බව ය. අභයභූමිය ආසන්නයේ පිහිටා ඇති මේ වගුරුබිම් දෙක ද බෙල්ලන්විල - අත්තිඩිය අභයභූමියට ඈඳාගෙන ඒ වගුරු පද්ධතියට ම නෛතික ආරක්ෂාව ලබා දීම අද වන විට අත්‍යවශ්‍ය වී ඇත. එපමණක් නොව අදාළ නීති රිති ක්‍රියාත්මක කිරීමෙන් වගුරු බිම් පද්ධතිය ආරක්ෂා කරගත යුතු වේ. මෙයට සමගාමීව මෙවන් පරිසර පද්ධතීන්හි වැදගත්කම ඉන් මිනිස් සහ සත්ත්ව ජීවී රටාවන්ට ලැබෙන පිටුවහල හා ඉන් බැහැරවීම තුළින් ලැබෙන අනිසි පලවිපාක පිලිබඳ ඉදිරි පරපුර දැනුවත් කිරීමද මෙහිලා ඉතා වැදගත් පියවරක් වේ. වනජීවී අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යංශය අනුබද්ධව කරනු ලබන පාසල් හා විශ්ව විද්‍යාල දැනුවත්කිරීමේ වැඩසටහන් සහ මාධ්‍ය තුලින් සිදුකරන ප්‍රචාරණමය කටයුතු මේ සඳහා මහඟු පිටුවහලක්වනු නොඅනුමානය.
අතිශය ජනාකීර්ණ කොන්ක්‍රීට් වනාන්තරයක් වැනි කාර්මිකරණයට ලක්වූ ප්‍රදේශයක් තුළ ස්වාභාවිකවම පිහිටනු ලැබූ සම්පතක් වන මෙතරම් සොඳුරු වූ හරිත ලොවක සිටින අප, කෘත්‍රීම පරිසරයක් නිර්මාණය කිරීමෙන් එහි ආශ්වාද ලබන්නෙමු. එපමණක් නොව එහි ඇති අවශ්‍යතාවයද විවේචනය කරන්නෙමු. නමුදු කිසිදු විටෙක ස්වභාවික පරිසරය හා සැසඳීමට සුදුසු තවත් ගිමන්හලක් නැත්තේමය. ඇත්තේ ජරාජීර්ණ වූ වාතලයක් පමණි. විඩාපත් මනස නිරතුරුවම සුවපත් කළහැකි නිසල වනපියසක අසිරිය අප හට වඩවඩාත් දැනෙනුයේ එය අපට අහිමිවී ගිය පසුය. එනිසාවෙන් අපට සොබාදහම් මාතාව විසින් දායාද කර ඇති මේ වටිනා සම්පත ආරක්ෂා කරගැනීම සහ එයට ආදරය කිරීම අප සතු යුතුකමකි.